By Chamila Karawita
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ දීර්ඝතම තරග අංශය ලෙසින් සැලකෙන අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය ජනවාරි 31 වැනිදායින් ආරම්භ වන සති අන්තයේ සිට පැවැත්වෙනු ඇත. තරගාවලිය මාස 2 දෙකහමාරකට අධික කාලයක් හෙවත් අප්‍රේල් දෙවැනි සති අන්තය දක්වා පැවැත්වෙනු ඇත.
ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 3 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් තරග වැදීමට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනු ඇත. ඒ අනුව ‘ඒ’ කාණ්ඩය යටතේ ක්‍රීඩා සමාජ 14 ක් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කොටස් දෙකක් යටතේ තරග වදිනු ඇත.
ඒ අනුව එක් කණ්ඩායමකට මූලික තරග වටය යටතේ තරග 6 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන අතර එහිදී අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම් 6 පළඟ ශූරතාව සඳහා තරග වදිති.
මෙවර තරගාවලියේත් ශූරතාව දිනා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න තෝරා ගැනීම අවසන් මහ තරගයක් රහිතව හෙවත් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනෙහි ඉදිරියෙන් සිටිනා කණ්ඩායම ලීග් ශූරයින් ලෙස කිරුළු පළඳිනු ඇත. පළඟ ශූරතාවයේදීද එම තරග වටයේ ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම ශූරයින් ලෙස පත්වීමය.
තරගාවලියේ තරග පැවැත්වෙන ව්‍යුහය දෙස අවධානය යොමු කිරීමේදී මූලික වටයේ තරග පමණක් තුන් දින තරග වශයෙන් පැවැත්වෙන අතර දෙවැනි වටයේ තරග සිව්දින තරග ලෙසින් පැවැත්වෙනු ඇත.
ඒ කාණ්ඩයේ සැලසුම ඒ අනුව සකස් වද්දී දෙවැනි කාණ්ඩයේ තරග වැදීමට නියමිත ක්‍රීඩා සමාජ 12 අතර තරගාවලියද ලීග් පදනම යටතේම පැවැත්වීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් එම තරගාවලියේදී මූලික වටය කාණ්ඩ ගත කොට නොමැති බැවින් එක් කණ්ඩායමකට තරග 11 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උධා වී තිබේ. ඒ අනුව සෑම කණ්ඩායමකටම තරග 11 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම එම කාණ්ඩයේ ශූරයින් ලෙස කිරුළු පළඳනු ඇත.
කෙසේ වෙතත් පළඟ ශූරතාවලියේ අවම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායමට ලබන වසරේදී ‘බී’ කාණ්ඩය දක්වා පහත දැමීමටද බී කාණ්ඩයේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායමට ලබන වසරේදී ඒ කාණ්ඩය දක්වා උසස්වීම් ලැබෙන ආකාරයට තරගාවලිය සැලසුම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටුව පියවර ගෙන තිබේ. එම සැලසුම ඉකුත් වසරේදීද ක්‍රියාත්මක වූ බැවින් එම වසරේ ඒ ශ්‍රේණියේ අඩු ලකුණු ලබා ගත් වරාය අධිකාරි පිල බී කාණ්ඩය දක්වාද බී ශ්‍රේණියේ ශූරතාව දිනූ ලන්කන් පිල ඒ ශ්‍රේණිය දක්වාත් ඉහළ දමා තිබේ.
ඉකුත් වසරේදී පැවැති තරගාවලියේදී පළමු කාණ්ඩයේ ලීග් ශූරයින් බවට කොළඹ ක්‍රීඩා සමාජය (සී.සී.සී.) ද එහි අනුශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජයටද හිමිවිය. බී කාණ්ඩය යටතේ පැවැති ලීග් තරගාවලියේදී ලංකන් ක්‍රීඩා සමාජය ශූරතාවය දිනා ගන්නා විට එහි අනුශූරයින් ලෙස නාවික හමුදාව සම්මාන දිනා ගත්හ. මේ අතර ඉකුත් වසරේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩා සමාජ 23 ට අමතරව මෙවර තරගාවලියේදී නුගේගොඩ, මහනුවර කස්ටම්ස් සහ සෙබස්තියනයිට්ස් යන ක්‍රීඩා සමාජ අළුතින්ම මෙවර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් වෙති.
පළමු පෙළ ‘ඒ’ ශ්‍රේණියේ තරගාවලිය | |
ඒ කාණ්ඩය | බී කාණ්ඩය |
සී.සී.සී. | සැරසන්ස් |
කෝල්ට්ස් | හලාවත මේරියන්ස් |
එස්. එස්. සී. | ටැමිල් යුනියන් |
යුද හමුදා | එන්. සී. සී. |
බී. ආර්. සී. | රාගම |
මුවර්ස් | බදුරලිය |
මීගමුව | ලන්කන් |
‘බී’ ශ්‍රේණිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම්
ගාල්ල, පානදුර, නාවික හමුදාව, කලුතර නාගරික, කුරුණෑගල තරුණ, ගුවන් හමුදාව, බ්ලූම්ෆීල්ඩ්, වරාය අධිකාරිය, නුගේගොඩ, පොලිස්, මහනුවර කස්ටම්ස් සහ සෙබස්තියනයිට්ස්.