slc
logo
Home   |    News
ජනවාරි 27, 2020
විස්සයි-20 ලෝක කුසලානෙට නැගී එන පිලෙන් 4 ක්

sinhala editor

By Chamila Karawita

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව වැඩි විශ්වාසය තබා සිටින කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව ඒ සඳහා නැගී එන කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

නැගී එන කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන හර්ෂිතා මාධවී නම් කරන ලද කණ්ඩායමේ උපනායිකාව බවට පත්වද්දී උමේෂා තිමාෂනී, කවිෂා දිල්හාරි සහ සත්‍යා සංදීපනී නැගී එන කණ්ඩායමේ දක්ෂතා දක්වමින් ලෝක කුසලාන කණ්ඩායම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටින සෙසු ක්‍රීඩිකවෝ වෙති.  මේ අතරින් සත්‍යා සංදීපනී ජාතික කණ්ඩායමකට සුදුසුකම් ලද පළමු අවස්ථාව වශයෙන්ද මෙම තරගාවලිය සනිටුහන් වීම කැපී පෙනෙයි.

මෙම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරග වැදි නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායිකාව ලෙස තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු කටයුතු කරන්නීය. ඇයගේ සහායිකාව වශයෙන් පත්ව සිටින හර්ෂිතා මාධවී, මීට පෙර පැවැති ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී උප නායිකාව ලෙසින් කටයුතු කර තිබෙන බැවින් උපනායකත්වය ඇයට ආධුනික නොවනු ඇත.

ලබන පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 06 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර ඔස්ට්‍රේලියාවේදී විශේෂ පුහුණු සැසියකට සහභාගිවීමට නියමිත බව මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරග වටය යටතේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතව සිටියි. බී කාණ්ඩය යටතේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, පාකිස්තානය,  බටහිර ඉන්දීය කොදෙව් සහ තායිලන්තය තරග වදිනු ඇත. බංග්ලාදේශය සහ තායිලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන ලද්දේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ අයර්ලන්තයේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන සටනට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවත් ලබන 18 වැනිදා එංගලන්තයට එරෙහිවත් පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිතව තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල පළමු සටන ලබන 22 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ කරන අතර දෙවැනි තරගය 24 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් තෙවැනි සටන සිව්වැනි සටන පිළිවෙළින් 29 වැනිදා ඉන්දියාවටත් මාර්තු 02 වැනිදා බංග්ලාදේශයටත් එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමාෂා තිමාෂනී, සුගන්ධිකා කුමාරි, ඩිලානි මනෝදරා.

අතිරේක – සචිනි නිසංසලා, ප්‍රසාදිනී වීරක්කොඩි, ඕෂධී රණසිංහ, තාරිකා සෙව්වන්දි, ඉනෝකා රණවීර.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee