slc
Home   |    News
ජනවාරි 14, 2020
වෙනස්කම් 2 ක් සමඟින් ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ යයි

Sri Lanka Cricket

By Chamila Karawita

පාකිස්තානයට එරෙහිව අවසන් වරට පැවැති ටෙස්ට් තරග සංචාරයට ඇතුළත්ව සිටි වමත් පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාව සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර නොමැත.

නව වසර උදාවීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තරග වදිනු ලබන පළමු ටෙස්ට් තරග සංචාරය බවට පත්ව තිබෙන මෙම තරග සංචාරයේදී කණ්ඩායමේ වෙනස්කම් 2 ක් සිදු කරමින් ශ්‍රී ලංකා පිල නම් කර තිබෙන අතර එහිදී අසනීප තත්ත්වයක් හේතුවෙන් අවසන් මොහොතේදී පාකිස්තානු තරග සංචාරයට සහභාගි නොවුණු සුරංග ලක්මාල්ට කණ්ඩායමේ ස්ථානය යළි හිමිව තිබේ.

පාකිස්තානු තරග සංචාරය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවුවද මෙම තරග සංචාරය සඳහා සාමාජිකයින් සංඛ්‍යාව 15 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙනෙයි. එම තත්ත්වය ප්‍රධාන කොට සුරංග ලක්මාල් වෙනුවට පාකිස්තානු තරග සංචාරය අතරතුරදී කණ්ඩායමට එක් වුණු අසිත ප්‍රනාන්දුටද සිම්බාබ්වේ බලා යන ටෙස්ට් කණ්ඩායමේ ඉඩ කඩ අහිමිව තිබේ.

ශ්‍රී ලංකාවට 1-0 ක් ලෙස පරාජය උරුම කරදෙමින් නිමා වුණු පාකිස්තානු තරග සංචාරයට කුසල් පෙරේරා ඇතුළත් වුවත් එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවිය. ඒ අනුව කුසල් අවසන් වරට ටෙස්ට් තරගයට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් ලෝක ශූරතාවලි සටන ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහිව කොළඹ පී. සරා ක්‍රීඩා පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී වේ. එම තරගයේ ඉනිම දෙකේදීම ඔහු ලකුණු නොලබා දැවී ගොස් තිබේ.

නම් කරන ලද කණ්ඩායමට සුරංග ලක්මාල් හැරුණු කොට වේග පන්දු යවන්නන් ලෙසින් ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රජිත ඇතුළත්ව සිටිති. පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී කසුන් රජිත මස් පිඬු ඉරී යෑමේ ආබාධයකට මුහුණ දුන් අතර දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් ඉකුත්දා ඉන්දියාව සමඟ නිමාවට පත් වුණු තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා කසුන් රජිත ක්‍රීඩා කළේය.

වේග පන්දු යවන්නන් සිව් දෙනාට අමතරව ප්‍රධාන දඟ පන්දුයවන්නන් තිදෙනෙකු ද කණ්ඩායමට එක් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. එහිදී පළපුරුදු දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා සමඟ ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණියවද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ලබන 16 වැනිදා අළුයම් කාලයේදී සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයට ජනවාරි 19 වැනිදා ද දෙවැනි ටෙස්ට් තරගයට ජනවාරි 27 වැනිදා සහභාගිවීමට නියමිතව තිබේ. මෙම තරග 2 ම හරාරේ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. නිරෝෂන් දික්වැල්ල, 8. දිල්රුවන් පෙරේරා, 9. ලසිත් ඇඹුල්දෙණිය, 10. සුරංග ලක්මාල්, 11. ළහිරු කුමාර, 12. විශ්ව ප්‍රනාන්දු, 13. කසුන් රජිත, 14. ලක්ෂාන් සඳකැන්, 15. ළහිරු තිරිමාන්න.

ඇතුළට – සුරංග ලක්මාල්

ඉවතට – අසිත ප්‍රනාන්දු, කුසල් පෙරේරා

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest