slc
Home   |    News
ජනවාරි 23, 2020
ශ්‍රී ලංකාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

Sri Lanka Cricket

By Chamila Karawita 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වූ සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර එක්ව දෙවැනි ඉනිමේ කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වීමත් සමඟ සත්කාරක සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. 

තරගයේ පස්වැනි සහ අවසන් දිනය තුළ යැවීමට නියමිත වූ පන්දුවාර 90 ඇතුළත කඩුලු 10 බේරා ගැනීමේ අභියෝගය කර පින්නාගෙන පන්දුවට පහර දීමට පැමිණි සිම්බාබ්වේ දෙවැනි ඉනිම ලකුණු 170 කට සීමා කරන ලද්දේ දිනය අවසන් වීමට තවත් පන්දුවාර 13 ක් ඉතිරිව තිබියදීය. ඒ අනුව ජයග්‍රහණය සදහා හිමිවූ ලකුණු 14 ක ඉලක්කය සපුරා ගන්නා විට දිමුත් කරුණාරත්න ලකුණු 10 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 04 ක් ලබා සිටියහ. 

ලකුණු 127 ක පසුපසින් සිට පස්වැනි දින ඇරඹූ සිම්බාබ්වේ පිලේ පළමු කඩුලු 3 ම සුරංග ලක්මාල් දවා ගනු ලැබුවේ ආරම්භයේ යවන ලද පන්දුවාර 3 දීය. ලකුණු 8 ක් ඇතුළත පළමු කඩුලු 3 දැවී යෑමෙන් සිම්බාබ්වේ ඉනිම අසීරුතාවයකට පත්වුණද ධෛර්යය වන්ත ලෙස පිති හැසිර වූ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් සහ වත්මන් නායක ෂෝන් විලියම්ස් දිවා ආහාරය තෙක් සිය කඩුලු ආරක්ෂා කරගත්හ.

මන්දගාමී ලෙසින් හැසිරවුණු හරාරේ තණතීරුවේදී පන්දුවට පහර දුන් ටේලර් – විලියම්ස් යුගල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවයක් එක් කරන ලද්දේ මෙම ඉනිමේදී පිතිකරුවන් යුගලයක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවයටද හිමිකම් කියමිනි. එහිදී ටේලර් ලකුණු 38 ක් සහ විලියම්ස් ලකුණු 39 ක් ලබා ගත් නමුත් දිවා ආහාරයෙන් පසු සැලසුම් සහගතව පන්දු යැවූ සුරංග ලක්මාල් සහ කසුන් රජිත ඔවුන් දෙදෙනාව පිටියෙන් ඉවත් කළහ.

කණ්ඩායමේ සිටින පළපුරුදුම පිතිකරුවන් යුගලය මුලු ලකුණු සංඛ්‍යාව 120 ක්ව තිබියදී දැවී යෑම නිසා වැඩි වගකීමක් සිකන්දර් රාසා සහ රෙගීස් චකාබ්වා මත පැටවිණ. ඇතැම් අවස්ථාවන්වලදී පන්දුවේ ගමන් මාර්ගය අදහාගත නොහැකි තරම් වෙනස් වෙමින් පැමිණි තණතීරුවේදී හැකිතාක් වේලාවක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් රාසා, ඇඹුල්දෙණියගේ ගොදුරක් ලෙසින් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේ තරගයේ සියළු වාසි ශ්‍රී ලංකා පිල වෙතට ලබා දෙමිනි. 

ඒ සමඟම ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නංවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිගින් දිගටම සිම්බාබ්වේ පසු පෙළ පිතිකරුවන් වෙත පීඩනය වැඩි කළේය. සියල්ල වෙනස් වූයේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කිරීමත් සමඟය.  පළමු ඉනිමේදී නොදැවී ලකුණු 44 ක් ලද ටිරිපානෝව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරගත් ළහිරු ජාර්විස් සහ එන්ලෝව්ගේ කඩුලු දවා ගන්නා ලද්දේ නව පන්දුවෙන් ලද දෝලනයේ වාසියද මුසු කර ගනිමිනි. එතෙක් වෙලා ජය පැරදුමෙන් තොරව අවසන් වීමට වැඩි ඉඩ කඩක් තිබූ තරගයේ පූර්ණ වාසිය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් හැරවුම් ලක්ෂය වශයෙන් ලකුණු 06 ක් ඇතුළත ළහිරු කුමාර විසින් දවා ගන්නා ලද කඩුලු 3 හැඳින්විය හැක.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ලකුණු 27 කට කඩුලු 4 ක්ද ළහිරු කුමාර ලකුණු 32 කට කඩුලු 3 ක්ද දවා ගනිද්දී ලසිත් ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් කඩුලු 2 ක් සහ කසුන් රජිතගේ නම ඉදිරියෙන් ඉතිරි කඩුල්ල සටහන් විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 27 වැනිදා හරාරේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. 

තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්  

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest