slc
Home   |    News
මාර්තු 12, 2020
යොවුන් පිලේ නවෝද් පරණවිතානගෙන් ලකුණු 400 ක්

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වාර්තා පොත් අතර නව පරිඡේදයක් සටහන් කරමින් ගාල්ල මහින්ද විදුහල් නායක නවෝද් පරණවිතාන පාසල් තරග ඉතිහාසයේ ලකුණු 400 ක් ලබා ගත් පළමු පිතිකරුවා බවට පත්වෙමින් වාර්තාවක් පිහිටුවීමට අද (11 වැනිදා) සමත්වූවේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 409 ක් ලබා ගත් පරණවිතාන ඉහත වාර්තාවට හිමිකම් කීවේය. පළමු කොටසේ තරගයක් ලෙසින් ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී පුරා හෝරා 8 කට වැඩි කාලයක් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා වාර්තාගත ඉනිම සඳහා පන්දු 327 කට මුහුණ දී තිබිණ. ඉන් පහර 19 ක් හයේ පහර ලෙසින්ද පහර 39 ක් හතරේ පහර ලෙසින්ද වර්ණවත් කර ගැනීමට පරණවිතාන සමත්වූවේය.

නවෝද්ගේ ඉනිම ප්‍රධාන කොට මහින්ද විදුහලට සිය පළමු ඉනිම සඳහා ලකුණු 679 ක් රැස් කර ගැනීමේ අවස්ථාව හිමිවිය. ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් ධර්මාශෝක පිල පළමු ඉනිම 185 කටද දෙවැනි ඉනිම කඩුලු 4 කට ලකුණු 25 ක්ව තිබියදී ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කොළඹින් පිට වෙසෙන දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කොට තිබෙන වැඩ සටහන හරහා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන පරණවිතාන අවසන් වරට දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූවේය.

නවෝද්ගේ ඉනිම ප්‍රධාන කොට මීට සති 3 කට පමණ ඉහතදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 350 ක් රැස් කරමින් වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු තබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද දෙවැනි තැනට පත්විය. පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 300 සීමාව ඉක්මවා ගිය පිතිකරුවන් තිදෙනකු සිටියද ලකුණු 400 සීමාව පසු කරන ලද පළමු පිතිකරුවාගේ ගෞරවය නවෝද් පරණවිතානට හිමිවන්නේය.

අවිශ්කට ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරගවලදී ලකුණු 300 සීමාව ඉක්මවා ලූ අනෙක් පිතිකරුවන් යුගලය වන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද දකුණත් පිතිකරු ඉන්දික ද සේරම් සහ පළමු පෙළ තරගාවලිය නියෝජනය කරන ලද ධම්මික වාස් ගුණවර්ධන වේ. මාතර ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරන ලද සේරම් 1993 වසරේදී අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට එරෙහිව ලකුණු 304 ක් ද ධම්මික 1996 වසරේදී මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කරමින් මීගමුව සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 310 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. මොවුන්ට අමතරව තෙවැනි පෙළ තරගාවලිය යටතේ ලකුණු 356 ක් ලබා ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් මයිකල් වන්හොෆ් සමත්වී තිබේ.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest