slc
logo
Home   |    News
අගෝස්තු 21, 2020
ශූරතාව දිනා ගැනීමට තුන් කොන් සටනක්

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි සතියේ දෙවැනි දින අවසන විට ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් සී. සී. සී., එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ. 

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි සී. සී. සී. පිලට එරෙහිව එන්. සී. සී. කණ්ඩායම ලකුණු 467 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් අභියෝගයක් එල්ලකිරීම මෙන්ම ඔවුන් සමඟ කරට කර සිටින හලාවත මේරියන්ස් කණ්ඩායම කෝල්ට්ස් පිලට එරෙහිව දෙවැනි දින අවසන් වීමට මත්තෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්ව සිටීම මෙකී තත්ත්වය ඇතිවීමට හේතු වී තිබේ. 

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු පී. සරා පිටියේදී ලකුණු 468 ක පළමු ඉනිමේ ඉලක්කය හඹා යමින් සිටින සී. සී. සී. කණ්ඩායමද කඩුලු 3 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටින බැවින් ලීග් ශූරතාවය දිනා ගන්නේ කවුරුන්ද යන්න අවසන් සතිය වන තෙක්ම බලා සිටීමට සිදුවන පෙර නිමිති පහළ වී තිබේ.

රුමේෂ්ගේ බුද්ධිකගේ සුපිරි ඉනිමෙන් මේරියන්ස් ඉදිරියට

තරගය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ හලාවත මේරියන්ස් පිල කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද පළමු ඉනිමේ ජයග්‍රහණයත් සමඟ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 2 සමඟ කරට කර සටනක් ලබා දෙමින් සිටියි.

බුද්ධිකගේ ඉනිම ප්‍රධාන කොට කෝල්ට්ස් පළමු ඉනිම 73 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඉක්මවා යන විට කඩුලු 5 ක් පමණක් හලාවත මේරියන්සි පිලේ දැවී ගොස් තිබිණ. පන්දු 185 ක් පමණක් වැය වුණු රුමේෂ්ගේ ලකුණු 145 කින් සමන්විත ඉනිම සඳහා ඔහු හතරේ පහර 20 ක් ඇතුළත් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් කසුන් විදුට ලකුණු 68 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි. 

කෝල්ට්ස් පන්දුවාර 72 කදී ලකුණු 302 යි – (සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය 51*, නිපුන් මාලිංග 13, සධීර සමරවික්‍රම 12, අසිත ප්‍රනාන්දු 87/5, තික්ෂිල ද සිල්වා 65/2, ෂෙහාන් ජයසූරිය 54/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 101 කදී කඩුලු 9 කට ලකුණු 399 යි – (ලසිත් කෲස්පුල්ලේ 54, ඕෂධ ප්‍රනාන්දු 35, රුමේෂ් බුද්ධික 145, ෂෙහාන් ජයසූරිය 28, පුලින තරංග 15, කසුන් විදුර 68*, තික්ෂිල ද සිල්වා 20, ඩිල්රුවන් පෙරේරා 84/3, නිපුන් රන්සික 58/2, අකිල ධනංජය 72/2)

චතුරංග සී. සී. සී. පිලේ බලාපොරොත්තු ඈතට රැගෙන යයි

පළමු දිනය ඇතුළත ළහිරු උදාර රැස් කරන ලද ලකුණු 111 ක ඉනිම හැරුණු කොට මැද පෙළ පිතිකරු චතුරංග ද සිල්වා විසින් රැස් කරන ලද ලකුණු 159 ක සුපිරි ඉනිම ප්‍රධාන කොට ශූරතාව දිනා ගැනීම සඳහා වඩාත් ආසන්නයෙන් සිටි සී. සී. සී. කණ්ඩායමේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈතට රැගෙන යමින් එන්. සී. සී. ලකුණු පුවරුව ලකුණු 467 ක් දක්වා ඉහළ දැමීමට දායකත්වයක් දැක්වීය. 

තම බාල සොහොයුරා වන වනිඳු හසරංග ප්‍රතිවාදී කණ්ඩායම වූ සී. සී. සී. පිල නියෝජනය කරද්දී පිත්ත හැසිරවූ චතුරංග පන්දු 229 ක් පුරා විහිදුණු ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් වර්ණවත් කර ගත්තේය. චතුරංග සහ සහන් ආරච්චිගේ අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 204 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එහිදී සහන්ගේ දායකත්වය ලකුණු 62 ක් විය.

පුරා දින එකහමාරකට වැඩි කාලයක් මුළුල්ලේ සී, සී. සී. පිල වෙහෙසර පත් කළ දැමූ එන්. සී. සී. පිලෙහි වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගන්නා ලද්දේ මාලින්ද පුෂ්පකුමාර විසිනි. වමතින් දඟ පන්දු යවන හේ ලකුණු 80 ක් ඇතුළත කඩුලු 6 ක් දවා ගත්තේය. 

තරගයේ තෙවැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී එන්. සී. සී. පළමු ඉනිම අභිබවා යෑමට එන්.සී. සී. කණ්ඩායමට කඩුලු 7 ක් ඇතුළත තවත් ලකුණු 257 ක් ලබාගත යුතුව තිබේ. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් සහ අවසන් තරගයේදී ශතකයක් රැස් කළ ලසිත් අබේරත්න ලකුණු 49 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති. 

එන්. සී. සී. පන්දුවාර 125.3 කදී ලකුණු 467 යි – (චතුරංග ද සිල්වා 159, ළහිරු උදාර 111, සහන් ආරච්චිගේ 62, මහේල උඩවත්ත 77, උපුල් තරංග 16, ලසිත් ඇඹුල්දෙණිය 16, මාලින්ද පුෂ්පකුමාර 80/6 ළහිරු ගමගේ 66/2) 

සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 48 කදී කඩුු 3 කට ලකුණු 210 යි – (කුසල් මෙන්ඩිස් 73*, මිනෝද් භානුක 33, රොන් චන්ද්‍රගුප්ත 19, අශාන් ප්‍රියන්ජන් 23, ලසිත් අබේරත්න 49*)

ජනිත්ගේ ශතකයත් සමඟ රාගම ලකුණු 500 සීමාවට 

යුද හමුදාවට එරෙහිව පැවැති මෙම තරගයේදී කඩුලු 9 කට ලකුණු 501 ක් ලබා ගත් රාගම කණ්ඩායම මෙවර තරග වාරයේ ලකුණු 500 ක් ඉක්මවාලූ 9 වැනි කණ්ඩායමට බවට අද පත්වූවේය. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි ජනිත් ලියනගේ නොදැවී රැස් කරන ලද ලකුණු 107 ක ඉනිම ප්‍රධාන කොට මෙතරම් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව රාගම පිලට විවර විය.

පසුපෙළින් පැමිණි බිනුර ප්‍රනාන්දුද දැවැන්ත පහර එල්ල කරමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 87 කදී ලකුණු 62 ක් රැස් කරමින් රාගම ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවක වන ශතක ලාභී ජනිත් ලියනගේ තම ඉනිම සඳහා පන්දු 227 කට මුහුණ දී තිබුණි. ඔවුන් දෙදෙනාට අමතරව රාගම පිල වෙනුවෙන් සමින්ද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා සහ නිශාන් මදුෂ්ක අර්ධ ශතක වාර්තා කළහ.

රාගම පළමු ඉනිම පන්දුවාර 144.3 කදී කඩුලු 9 ට ලකුණු 501 යි – (ජනිත් ලියනගේ 107*, සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56, ඉෂාන් ජයරත්න 19, බිනුර ප්‍රනාන්දු 62, අමිල අපෝන්සු 44, යශෝධ මෙන්ඩිස් 74/3, ප්‍රසන්න සික්කුගේ 128/2, මල්ක මදුසංඛ 84/2)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 35 කදී කඩුලු 6 ට ලකුණු 93 යි – (දිනේෂ් චන්දිමාල් 50, සික්කුගේ ප්‍රසන්න 13, ශෂික දුල්ශාන් 19/3, ඉෂාන් ජයරත්න 05/2)

සැරසන්ස් තවත් ලකුණු 201 ක් පිටුපසින් 

පළමු දිනය පරිදිම තරමක මන්දගාමී පිතිහරඹයක නිරත වුණු බී. ආර්. සී, පිල අද දිනයේදී සියලු දෙනා දැවී ලකුණු 392 ක් රැස් කර ගත්තේය. බී. ආර්. සී, පිල වෙනුවෙන් රමින්ද විජේසූරිය ලකුණු 109 ක් සහ ශානුක දුලරාජ් ලකුණු 94 ක් ලබා ගගත්හ. ඔවුන් දෙදෙනාට අමතරව නිසල් ෆ්‍රැන්සිස්කෝ ද අර්ධ ශතකයක් වාර්තා කළේය.

මාතර ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් දේශීය තරග පිටියට අවතීර්ණව සිටින ශතක ලාභී වමත් පිතිකරු රමින්ද විජේසූරිය ලබාගත් ලකුණු 109 පන්දු 163 කදී ලබා ගන්නා ලද්දේ තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සරසා ගනිමිනි. 

බී. ආර්. සී. පිල ලබා දුන් අභියෝගයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සැරසන්ස් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා පළමු ඉනිමට තවත් ලකුණු 201 ක් පසු පසින් සිටින්නේ කඩුලු 5 ක් අත තබාගෙනය. 

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 110.1 කදී ලකුණු 392 යි – (රමින්ද විජේසූරිය 109, ශානුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, ඩිල්ශාන් ද සොයිසා 26, රනිත ලියනආරච්චි 66/4, සචින්ත පීරිසි 85/2)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 64 කදී කඩුලු 5 ට ලකුණු 191 යි – (සිතාර ගිම්හාන් 43, ගමිඳු කණිෂ්ක 43, පවන් මදුවන්ත 27, අෂේන් බණ්ඩාර 31, සචින්ත පීරිස් 18*, නවිඳු විතානගේ 17, මොහොමඩ් ශිරාස් 45/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee