slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2020
LPL ලාංඡනය එළි දක්වයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ නිල ලාංඡනය (Logo) නිල වශයෙන් මාධ්‍යයන් වෙත නිකුත් කිරීමට එම තරගාවලියේ තරග සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් හෙවත් IPG ආයතනය අද (17 වැනිදා) පස්වරුවේ පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන ජාතික ධජයේ ප්‍රධාන සංකේතය ලෙසින් සටහන් වන සිංහ රුවකට සමාන සිංහ රුවක හිසක් භාවිතයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කර තිබෙන අතර ජාතික ධජයේ සටහන් වන ආකාරයෙන්ම ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම, එම නිල ලාංඡනයේ ප්‍රධාන තේමාව බවට පත්ව තිබේ. 

මීට අමතරව සංස්කෘතීන් සහ උරුමයන් වල මුල් තැනක් ලබා දෙනු ලබන පොහොසත් ශ්‍රී ලාංකේය ජාතියෙහි නිදහස ගලා යෑම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය තුළ ක්‍රීඩා කරන විට ඔවුන් දක්වනු ලබන නිර්භීත ආකල්ප නිරූපනය වන ආකාරයෙන් මෙම නිල ලාංඡනය නිර්මාණය කර තිබේ.

LPL නිල ලාංඡනයේ රතු සහ තැඹිලි වර්ණ තුළ භාවිතා කිරීම මගින් ඓතිහාසික මහනුවර යුගයේ සිතුවම් සහ සීගිරි බිතුසිතුවම් මිනිස් සිත තුළට කා වැද්දීම මෙන්ම නිල සහ කහ වර්ණ උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වරුණ නිරූපණය කිරීම අපේක්ෂා කරයි. 

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5, සිංහ රුවේ කේශරය සඳහා යොදා තිබෙන වර්ණ වලින් පිළිබිඹු වේ. එම වර්ණ 5 ට අමතරව යොදා තිබෙන වර්ණ වලින් තරගාවලියේ හැඟීම උද්දීපනය කිරීම මෙන්ම තරගාවලියේ වේගය නිරූපණය කරනු ඇත. තවද සියළු දෙනාගේම ආදරය දිනා ගත් ක්‍රීඩාව බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වනු ලබන නොනවතින ආශාව සහ උනන්දුවද මෙම කේශර වර්ණ වලින් පිළිබිඹු වනු ඇත. මෙම වර්ණ සියල්ල භාවිතයේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙසින් දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා ලෝලීන්ට සමානව ආකර්ශනය වන ආකාරයෙන් පැවැත්වීම වේ.

ලංකා ප්‍රිමියර් ලීග් හි නිල ලාංඡනය පිළිබඳව අදහස් දක්වා සිටින එම තරගාවලි අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, “මෙම ලාංඡනය තුළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් නිමිත්තන් සහිත ජාතික වර්ණවල අපූරු සංයෝජනයක් දකින්න ලැබීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම ලාංඡනය හරහා ක්‍රිකට් රසිකයින්ට තරගාවලිය සමඟ පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව උදාවනවා පමණක් නොව ඔවුන් ඔවුන්ගේ ජාතික කණ්ඩායම හා සමාන කැමැත්තකින් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වනු ඇති බව මට විශ්වාසයි” යැයි සඳහන් කර සිටියේය.

මේ අතර අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන අනිල් මොහාන් මහතා ද අදහස් දක්වමින්, “මෙම ලාංඡනය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව, සංස්කෘතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන සුවිශේෂී බව වැනි කාරණා නිරූපණය වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ සියළු දෙනාගේම හදවත් වල වැදගත් කොටසක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා සැබැවින්ම ජාතියේ අභිමානවත් බව මේ ලාංඡනයෙන් හොඳින්ම පිළිබිඹු වෙනවා”යි සඳහන් කර සිටියේය. 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ ක්‍රීඩක වර්ගීකරණය (Player Draft) ලබන ඔක්තෝම්බර් මස 19 වැනි සඳුදා දින අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වීමට නියමිතය. 

කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රීඩක වර්ගීකරණයේදී විදේශීය ක්‍රීඩකයින් 6 ක් සහ දේශීය ක්‍රීඩකයින් 10 ක් වශයෙන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකාරීත්වයට උදාවේ.

Active filters

Recent Posts

  • පන්දුවක් ඉතිරිව තිබියදී රෙඩ්න් ජය වාර්තා කරයි 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියේ මැයි 04 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එස්.එල්.සී. රෙඩ්ස් සහ එස්.එල්.සී. ග්‍රීන් අතර තරගයෙන් […]
  • ජාතික රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘හරසර‘
    ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ දස්කම් ඇගැයීමට ලක් කරමින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  •  සිව්වන එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම ජය ගනී.
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ ඒ ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරග පහක තරගාවලියේ අද (05) පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු […]
  • පෙර පුහුණු තරගයෙන් යෙලෝ පිල ජය ලබයි
    අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මීළඟ පිරිමි විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පුහුණුවීිම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය […]
  • LPL පස්වැන්නේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා
    ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න හෙවත් 2024 අදියර හි ක්‍රීඩක වෙන්දේසිය මේ මැයි මස […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee