slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2020
ක්‍රිකට් දියුණුවට LPL සුභ පෙරනිමිත්තක් – අනුර තෙන්නකෝන්

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා ගිය ගමන පිටුපස දැවැන්ත චරිත ගණනාවකි. ඒ අතරින් හිටපු නායක අනුර තෙන්නකෝන් මහතාට විශේෂ ස්ථානයක් හිමිවන්නේය. 1975 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රථම වතාවට පවත්වන ලද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වුණු ලංකා කණ්ඩායම මෙහෙයවීමට වාසනාවන්ත වුණු තෙන්නකෝන් මහතා ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා වුණු මූලික සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලද චරිතයක් බවට පත්වූවේය.

ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවැති සමයේදී ක්‍රිකට් ක්‍රීඩාව වැළදගනු ලැබුවේ හදපිරි සතුටකිනි. 1948 නිදහස් ස්වෛරී රාජ්‍යයක් වීමෙන් අනතුරුව අප දශක ගණනාවක්ම ක්‍රිකට් ක්‍රීඩාවේ රන්දෙවොල ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් මූලස්ථානයේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට්වරම්) ලැබීමට කෙතරම් උත්සහ කළද ඉන්ඵලක් නොවීය.

ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන දේශයක් මුහුණපාන අසීරුතම ඉලක්කයන් තුනක් වනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජිකත්වය හිමිකර ගැනීම (ටෙස්ට් තත්ත්වය) ලෝක කුසලානය දිනාගැනීම සහ මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමය. වත්මන් යුගයේදී මෙන් නොව අතීතයේදී කණ්ඩායමකට ටෙස්ට් තත්ත්වය හිමිකර ගැනීම යනු ආශ්චර්යයමත් සිදුවීමකි.

එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වූ ගමනේදී 1975 වසරේදී එංගලන්තයේ පැවැති එම අභිනව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවුණු ශ්‍රී ලංකා පිලේ නායකත්වය හිමිවූයේ එවකට 27 හැවිරිදි වියේ පසුවුණු අනුර තෙන්නකෝන් මහතාටය. ගල්කිස්ස සාන්ත තෝමස්, ලංකා අවුරුදු 19න් පහළ සහ සිංහල ක්‍රීඩා සමාජයට නායකත්වය ලබා දී තිබූ තෙන්නකෝන් මහතා සතු ක්‍රීඩා කෞෂල්‍යයට අමතර නායකත්වය සම්බන්ධව වූ තීක්ෂණ බුද්ධිය හේතුවෙන් පළමු ලෝක කුසලාන තරගාවලිය පමණක් නොව 1979 වසරේදී එංගලන්තයේදීම පැවැති දෙවැනි ලෝක කුසලාන තරගාවලියේද නායකත්වය දැරීමට අවස්ථාව හිමිවිය. ආධුනික රටක් ලෙසින් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වුණු ශ්‍රී ලංකාවට අභිනව තරගාවලියේදී ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට හැකියාව නොලැබුණත්, දෙවැනි ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ඉන්දියාව පරාජය කරමින් පෙරැළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට අනුර තෙන්නකෝන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා කණ්ඩායම සමත්වූවේය.

තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් අසූව දශකයේ මුලදීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හෙවත් ටෙස්ට් වරම් පිරිනැමිණ. එදා ශ්‍රී ලංකාට ටෙස්ට් වරම් දිනා ගැනීම වෙනුවෙන් යුග පුරුෂයෙකු ලෙස ක්‍රියා කළ අනුර තෙන්නකෝන් මහතා අදටත් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන්නේය.

අනාගතයට දක්ෂ ක්‍රීඩකයින් රැසක් දැයට හඳුන්වාදීමේ උදාරතර කාර්යය භාරයක් සිදුකෙරෙන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා ජාතික සංචිතයේ උපදේශකවරයකු ලෙසින් කටයුතු කරනු ලබන තෙන්නකෝන් මහතා, එළැඹෙන 26 වැනිදා හම්බන්තොටදී ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව සිය හඬ අවදි කරන ලද්දේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව ගමන් කරන ආකාරය දෙස විමර්ශනය කිරීමේදී LPL ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම ඉතාම කාලෝචිත පියවරක් වශයෙනි.

ඒ පිළිබඳව තෙන්නකෝන් මහතාගේ වචනවලින්ම පවසන්නේ නම් මෙලෙසිනි. “වසර ගණනාවක් තිස්සේ ක්‍රිකට් පිළිබඳව මා ලද අත්දැකීම් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින ආකාරයට දෙස විමර්ෂනාත්මක ලෙස බැලීමේදී මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමටය පියවර ගැනීම ඉතාමත් කාලෝචිත පියවරක් කියලයි මම හිතන්නේ. මොකද මේ හරහා අපේ තරුණ ක්‍රීඩකයින් රැසකට යහපත් ප්‍රතිඵල නුදුරු අනාගතයේදීම අත්කර ගැනීමට හැකියාව ලැබෙන නිසා” යි යනුවෙනි.

“විස්සයි-20 ලීග් තරගාවලියක් සංවිධානය කරන දේශයකට ඉක්මනින්ම තම රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඔවුන් අයි.පී.එල්. තරගාවලිය සංවිධානය කර වැඩිකල් යෑමට මත්තෙන් ලොව හොඳම ක්‍රීඩකයන් බිහිකරන කණ්ඩායම බවට පත්ව සිටිනවා. අපටත් එල්.පී.එල්.තරගාවලිය හරහා මේ තත්ත්වය උදාකර ගත හැකිවේවි” යැයි තෙන්නකෝන් මහතා සිය විශ්වාසය පළ කරයි.

දැඩි නීරෝධායන නීති යටතේ ලබන දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට පැවැත්වෙන LPL විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය, ක්‍රීඩාංගණයට ගොස් නැරඹීමට කිසිදු ප්‍රේක්ෂකයකුට අවස්ථාවක් හිමි නොවන නමුත් රූපවාහිනී විකාශනයන් ඔස්සේ පමණක් නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවනු ඇත. ප්‍රේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් තොරව ශ්‍රී ලංකාව තුළ තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව වශයෙන් සනිටුහන් වන මෙම තරගාවලිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නායකයා, “කොවිඩ් 19 තත්ත්වය ලොව පුරා ආසාධනය වෙලා තිබුණත් ක්‍රිකට් ක්‍රීඩා කරන එක නැවැත්වුවහොත් සිදුවන්නේ එම රටෙහි ක්‍රීඩා දක්ෂතා පහත බැසීමක්. ඒක නිසා ක්‍රීඩාව නැවැත්විය යුතු නෑ. ඒ වගේම ක්‍රිකට් තරග පැවැත්වීමේදී ක්‍රීඩා ලෝලීන් කියන්නේ ක්‍රීඩාව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍යම පිරිසක්. නමුත් මේ වගේ රට ව්‍යසනයකට පත්වෙලා තියෙන අවස්ථාවක ක්‍රීඩා පිටිය තුළට පැමිණීමට හැකියාව නැති වුණත් රූපවාහිනිය ඔස්සේ ඔවුන්ට තරග නැරඹීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මා දකින විදියට මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමක් ඇතිවීමට හේතුවෙයි කියලා විශ්වාස කරනවා” යැයිද සඳහන් කර සිටියේය.
වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩාව තුළින් තමන් උකහා ගත් අත්දැකීම් එකින් එක LPL තරගාවලියට ආදේශ කරමින් අදහස් දැක්වූ අප කථා නායක තෙන්නකෝන් මහතා, “විදේශ ක්‍රීඩකයන් සම්බන්ධ කරගෙන මෙවැනි ජාත්‍යන්තර තරගාවලියන් සංවිධානය කිරීමෙන් රටේ ආර්ථිකයට පමණක් නොවෙයි, ක්‍රීඩකයන්ගේ ආර්ථිකයත් යහපත්වීම ස්වාභාවික කරුණක්. ඒ වගේමයි තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එතෙර රටවලින් පැමිණෙන පිරිස් සමඟ අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමේදී ලබාගත හැකි දැනමුතු කම් බොහෝමයක් තියෙනවා. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සුරක්ෂිතභාවයට පත් කිරීමට මේ තරගාවලිය සුභ පෙර නිමිත්තක්” යැයි අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest