slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2020
කයිස්ගේ සංදර්ශනයෙන් කලම්බු කිංග්ස් අංක 1 ට එයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

කයිස් අහමඩ් සහ අශාන් ප්‍රියන්ජන් එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 77 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට හේතු කොට “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ 20 වැනි තරගය හෙවත් අවසන් තරගය බවට පත් වුණු තරගයේදී දඹුල්ල වයිකින්ස්ට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් පිල අද (11 දා) සමත්විය.

අදාළ ජයග්‍රහණයත් සමඟ කලම්බු කිංග්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ස්ථිර කරගනිමින් ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරගයේදී  ගෝල් ග්ලැඩියේටර් පිල සමඟින් වූ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ලකුණු 200 කට අධික ඉලක්කයක් ලබා දුන්නද අනපේක්ෂිත පරාජයකට ලක් වුණු දඹුල්ල වයිකින්ස් දෙවැනි ස්ථානයට පත්වීම නිසා 14 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් සමඟ තරග වදිනු ඇත.

ජයග්‍රහණ සඳහා පන්දුවාරයකට 10.20 දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය හිස මත දරා ගනිමින් ලකුණු 204 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි කලම්බු කිංග්ස් පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 14 කදී ලකුණු 30 ක් අවශ්‍ය විය. 19වැනි පන්දුවාරය යැවූ අන්වර් අලීට හයේ පහර 4 ක් එල්ල කළ කයිස් අහමඩ් පන්දු 7 ක් ඉතිරිව තිබියදීම තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ අහමඩ් තරගයේ ජයග්‍රහණය මෙන්ම සිය අර්ධ ශතකයද සම්පූර්ණ කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ. පන්දු වමින් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් කේයිස් හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 22 කදී ලකුණු 50 ක් ලබා ගත්තේ පන්දු යැවීමට මෙන්ම පන්දුවට පහර දීමටද එකසේ දක්ෂ බව පසක් කරමිනි. එම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද කේයිස් අහමඩ් පිදුම් ලැබීය.

14 වැනි පන්දුවාරයේදී 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියටා පිවිසි අහමඩ් පළමු පන්දු 6 දී රැස්කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණක් වුවත් මාලින්ද පුෂ්පකුමාර විසින් යවන ලද 16 වැනි පන්දුවාරයේදී පිට පිට පන්දු 2 කදී හතරේ පහර 2 ක් එල්ල කරමින් පිටිය තුළ විශ්වාසය ගොඩ නඟා ගත්තේය. කෙසේ වෙතත් තරගය ජයග්‍රහණය කිරීමට පෙර ඔහු මුහුණ දුන් පන්දු 7 න් 5 ක්ම හයේ පහර එල්ල වීම කැපී පෙනෙයි. ඔහුට අනගි සහායක් දුන් අශාන් ප්‍රියන්ජන් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 47 ක් ලබා ගත්තේය.

තරගාවලියේ එකම ශතක ලාභියා වුණු ලෝරි එවන්ස් අද දිනයේදී වේගවත් ඉනිමක නිරත වෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමඟ පන්දු 24 කදී ලකුණු 53 ක් රැස් කළේය. 220 ක අධික ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීමට සමත්වුවද හයේ පහරකින් සිය අර්ධ ශතකය ලබා ගැනීමත් ආබාධයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්විය.

ඉවත්වීමට ප්‍රථම ළහිරු කුමාර විසින් යවන ලද පැයට කිලෝ මීටර 147 ක වේගයෙන් යුතු පන්දුවක් එවන්ස්ගේ කලව ප්‍රදේශයේ වැදුණු අතර ඇතැම් විට එය ඔහුට පිටියෙන් යෑමට හේතුවූවා විය යුතුය. මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නකු යවන ලද වේගවත් පන්දුවේ හිමිකාරීත්වය  ළහිරු කුමාර විසින් යවනු ලැබීය. එම පන්දුව පැයට කිලෝ මීටර 148.8 ක වේගයක් සටහන් විය.

දඹුල්ල වයිකින්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ඇන්ජලෝ පෙරේරා පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 74 ක් රැස් කරගැනීමට සමත් වද්දී නිරෝෂන් දික්වැල්ල පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමඟින් ලකුණු 65 ක් රැස් කරගත්තේය.

දඹුල්ල වයිකින්ස් ඉනිම ඇරැඹි නිරෝෂන් දික්වැල්ල සහ සමිත් පටෙල් ඉනිමේ පළමු ලකුණු 50  සඳහා පන්දු 28 ක් පමණක් වැය කළේය. එහෙත් පිට පිට පන්දු දෙකකදී සමිත් පටෙල් සහ උපුල් තරංග දෙදෙනාම දවා ගනිමින් පීඩනයක් එල්ල කිරීමට කේස් අහමඩ් සැරසෙද්දී ඊට එරෙහි වුණු දික්වැල්ලට සහ ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතක වාර්තා කරමින් ඉනිමේ සාර්ථක සම්බන්ධතාවය පැවැත්වූහ. ලකුණු 94 කින් සමන්විත තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය සඳහා ඔවුන් දෙපළ වැය කරන ලද්දේ පන්දු 64 ක් පමණි.

මෙවර තරගාවලියේ දික්වැල්ල මෙන්ම ඇන්ජලෝ අර්ධ ශතක වාර්තා කරන ලද දෙවැනි අවස්ථාව වශයෙන් අද දින ක්‍රීඩා කරන ලද ඉනිම සටහන් විය. මුහුණ දුන් 32 වැනි පන්දුවේදී දික්වැල්ල අර්ධ ශතකය සම්පූර්ණ කරගනිද්දී  ඇන්ජලෝ පෙරේරා මුහුණ දුන් 39 වැනි පන්දුවේදී එම කඩ ඉමට පැමිණියේය.

පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමෙන් වාසි ගත් ඇන්ජලෝ පෙරේරා සහ නායක දසුන් ශානක අවසන් පන්දුවාර 5 දී ලකුණු 59 ක් කලම්බු කිංග්ස් පිලෙන් උදුරා ගත්හ. දික්වැල්ලගේ දැවී යෑමත් සමඟපිටියට පිවිස් නායක දසුන් ශානක පන්දු 15 කදී හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 29 ක් එක් කරමින් දඹුල්ල වයිකින්ස් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.

16 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීම නිරෝෂන් දික්වැල්ල දැවී යෑමත් සමඟ ඇන්ජලෝ පෙරේරාට එක්වූ දසුන්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වූ නොබිඳණු කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 30 කදී ලකුණු 59 කි. ඇන්ඩ්‍රෙ රසල් සහ ඉසුරු උදාන විවේක ගන්වමින් අද තරගයට අවතීර්ණ වුණු කලම්බු කිංග්ස් නායකයාට දඹුල්ල වයිකින්ස් පිතිකරුවන් මෙල්ල කිරීම දැඩි අභියෝගයක් විය. කේස් අහමඩ් පමණක් සිය පන්දුවාර 4 දී ලකුණු 23 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවා ගනිද්දී මෙතෙක් දිනක් සාර්ථක වුණු දුෂ්මන්ත චමීරගේ පන්දුවාර 4 දී ලකුණු 49 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. හිටපු වේග පන්දු යවන්නකු වන චම්පක රාමනායකගේ පුත් හිමේෂ් රාමනායක මෙම තරගයේදී ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළත් ඔහුගේ පන්දුවාර 3 දී ලකුණු 37 ක් ලබා ගැනීමට වයිකින්ස් පිතිකරුවෝ සමත්වූහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar