slc
logo
Home   |    News
ජනවාරි 13, 2021
එංගලන්ත අභියෝගය ගැන නායක දිමුත්ගේ අදහස…

sinhala editor

Chamila Karawita reporting from Galle

වසර 37 ක ඈත අතීතයට දිව යන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් එංගලන්ත කණ්ඩායම තම මව්බිමේදී පරාජයට පත් කර ඇත්තේ මීට දශකයට හෙවත් 2011 වසරේදීය. ඒ අතරතුර කාලයේදී එංගලන්ත පිල තරග 3 කින් සමන්විත තරගාවලියක් සඳහා 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් එම තරගාවලිය 0-3 ක් ලෙස සත්කාරකයින්ව පරාජයට පත් කිරීමට සංචාරකයින් සමත්ව තිබේ.

එම තරග සංචාරය සඳහා සහභාගිවුණු එංගලන්ත කණ්ඩායමත් මෙවර තරගාවලිය සඳහා පැමිණ සිටින කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිබඳව සංසන්දනාත්මකව බැලීමේදී 2018 තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ක්‍රීඩකයින් 5 දෙනෙක් හෙට ආරම්භ වන තරගය සඳහා ක්‍රීඩා නොකරනු ඇත. එය සැබැවින්ම ශ්‍රී ලංකා කඳවුරට සුභදායී කරුණකි. බෙන් ස්ටෝක්ස්, අදෙල් රෂීඩ්, කීටං ජෙනිංග්ස්, මොයින් අලී සහ බෙන් ෆෝක්ස් එම ක්‍රීඩකයින් වන අතර ඔවුන් 5 දෙනාම 2018 තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයකට මං පෙත් විවර කරන ලද ක්‍රීඩකයින් අතර ප්‍රමුඛත්වය ගත්හ.

බෙන් ස්ටෝක්ස්ව විවේක ගන්වා තිබෙන අතර ඉකුත් තරගවාරයේදී ශතකයක් ලද කීටන් ජෙනිංග්ස්, අදෙල් රෂීඩ් සහ කීටන් ජෙනිංග්ස් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. තේරීම් වලදී බෙන් ෆෝක්ස්ට හෙට තරගයේ අවසන් 11 දෙනා අතර ඉඩක් අහිමිව තිබෙන අතර කණ්ඩායමට එක් වුණු මොයින් අලී කොවිඩ් අසාධනය වීම තරගාවලිය අහිමිවී තිබේ.

“ඇත්තටම බැළුවොත් මේ කණ්ඩායමත් එක්ක අපිට පැහැදිළිවම ලොකු වාසියක් තියෙනවා. ඒ ඇයිද කියනවා නම් ඔවුන් මේ තරගාවලියේදී අලුත් ක්‍රීඩකයින් එක්ක ක්‍රීඩා කරන්නේ. අනිත් එක අපේ තණතීරුවල වල වැඩිය ක්‍රීඩා කරපු නැති කට්ටිය තමා ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නේ. නමුත් ඒ කියලා අපි ඔවුන්ව සැහැල්ලුවට ගන්න නරකයි. මොකද ඔවුන් ඇවිල්ලා, නිකන් ක්‍රීඩා කරලා යන්නේ නෑ”

“ක්‍රීකයින් කීප දෙනෙක් ගැන විශ්වාසය තියලා තියෙන නිසා. අවසන් වතාවෙදි ඔවුන් මෙහි පැමිණ තරග කළ කණ්ඩායමේ ක්‍රීඩා කරපු බෙන් ස්ටෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් දෙදෙනාම මෙම කණ්ඩායමට ඇතුළත් වෙලා නෑ. ඔවුන්ගේ කණ්ඩායම සමබර කරන ක්‍රීඩකයා වන්නේ ස්ටෝක්ස්. එංගලන්ත පිලේ සිටින ක්‍රීඩකයින්ට එතරම් අත්දැකීම් නෑ” යැයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වා සිටියේය.

තරග ආරම්භයට පැය 24 කටත් අඩු කාලයක් තිබියදී පැවැති මාධ්‍ය හමුවේදී ඉහතඅදහස් පළ කර සිටි ශ්‍රී ලංකා නායකයා, “එසේ ම වුණත් එයින් කියැවෙන්නේ නෑ අපි ප්‍රතිවාදී පිල අවතක්සේරුවෙන් කතා කරනවා කියලා. ඔවුන් ඉතා හොඳින් පෙර සූදානම් වෙලා තියෙනවා. ඔවුන්ගේ සූදානම කොතරම්ද කියන එක මම දැකලා තියෙනවා. ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා වගේම කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මුලින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරපු පළමු කණ්ඩායම් දෙක අතර සිටින කණ්ඩායමක්. ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. අපි ක්‍රිකට් ආරම්භ කළේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලියේදී. ඒ තරගාවලිය අතරතුරත් ක්‍රීඩකයින් ආබාධ වලට ලක්වීම නිසා අපිටත් ක්‍රීඩකයින් අහිමිවෙලා තියෙනවා. ඒත් අපේ රටේ ගහන එක් වාසිය අපිට නිතරම තියෙනවා” යි දිමුත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා නායකයා එසේ සඳහන් කර සිටියද 2018 තරගවාරයේදී ශ්‍රී ලංකා පිලට එරෙහි මුවහත් වුණු එංගලන්ත දඟ පන්දු බල ඇණියේ දක්ෂතා තවමත් මනසේ රැව් පිළිරැව් දෙමින් තිබේ. ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරීව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරග වාරයේදී වැඩිම කඩුලු ලාභියා වුණු වමත් දඟ පන්දු යවන ජැක් ලීච් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටියි. එම තරග වාරයේ කඩුලු 18 ක් දවා ගැනීමට සමත් වන ලීච්, ඒ සඳහා ලකුණු 21.38 ක් පමණක් ප්‍රතිවාදී පිල හමුවේ ලබා දීමට වග බලා ගත්තේය. ඔහුට අමතරව දකුණත් පිට දඟ පන්දු යවන ඩොම් බෙස්ද අවසන් වරට ක්‍රීඩා කරන ලද ඉනිම 15 දී කඩුලු 19 ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පිතිකරුවන් කරකවා දැමීට සූදානම් ස්වරූපයෙන් පසුවේ.

“මම හිතනවාමේ වතාවේදීත් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් භයානකයි කියලා. ඔවුන් සතුව ගෙවී ගිය තරග වාරයේදී වැඩි වැඩ කොටසක් කළ ජැක් ලීච් සිටිනවා. ඒ තරගාවලියේදී හොඳින් කරපු මොයින් අලීට අවාසනාවකට මේ තරගාවලිය අහිමි වෙනවා. ඒ වගේම තමයි ඩොම් බෙස්. ඔහු ඉතා හොඳින් ඔහුගේ වගකීම එංගලන්ත පිල වෙනුවෙන් ඉටු කරනවා. ඒ නිසා අපි ඔවුන්ගේ පන්දු යවන්නන් කිසි විටෙකත් අඩු තක්සේරුවන් සලකන්නේ නෑ. අපි හැම විටම ඔවුන්ගේ පන්දු යැවීමේදී ඔවුන්ට කළ හැකි දේ ගැන අපිට අදහසක් තියෙනවා”යි දිමුත් අදහස් දක්වයි.

“දේශීය තත්ත්වයන් ගැන අදහසක් අපිට තියෙනවා. ඒ වගේම සැලසුම්. අවසන් වරට ඔවුන් මෙහි පැමිණි අවස්ථාවේදී පුහුණු තරගවල ක්‍රීඩා කරපු  දර්ශන අපි ගාව තියෙනවා. අපි අපේ සාමාන්‍ය ක්‍රීඩාව, නිර්භීතව ක්‍රීඩා කිරීමටයි උත්සාහ දරන්නේ. අවසන් තරගාවලියේදී අපේ අතින් වුණු වැරදි වලින් බොහෝ දේවල් ඉගෙන තියෙනවා” යැයි වමත් හැඩකාර පිතිකරු දිමුත් වැඩිදුරටත් පවසයි.

මව්බිමේදී උවද ක්‍රීඩා කිරීම අසීරු බව සඳහන් කර සිටින දිමුත් කරුණාරත්න “ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනවා කියන්නේ අසීරු කරුණක්. නමුත් අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා හැමෝම ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ. අපි මාසයක් විදේශ රටකට ගිහින් තරග කළා තමයි. නමුත් නැවත ඇවිල්ලා අපේ තත්ත්වයන් වලට හුරුවෙනවා කියන්නේ අමාරු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඔව්. අපි ටික කාලයක් ක්‍රීඩා නොකරපු බව ඇත්ත. නමුත් අවසන් වසරේදී අපි දේශීය තරගාවලි මෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියකටත් ක්‍රීඩා කළා. ඒ තරග වලදී අපි එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ ක්‍රීඩා කළ නිසා එය අපහසුයි කියලා නිදහසට කරුණු කිව නොහැකියි” යැයි දිමුත් කරුණාරත්න අවධාරණය කර සිටියේය.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (14 වැනිදා) ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැන්න ලබන 22 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest