slc
Home   |    News
ජනවාරි 14, 2021
දිමුත්ට පළමු ටෙස්ට් තරගය අහිමිවෙයි – නායකත්වය චන්දිමාල්ට

sinhala editor

By Chamila Karawita reporting from Galle

දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව අද (14 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගය මෙහෙයවීමේ වගකීම මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල්ට පැවැරී තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව වැදීම මද මහපටැඟිල්ලේ ඉහළ කොටසේ අස්ථියක බිඳුණු අතර එය තවමත් යථා තත්ත්වයට පත් නොවීම අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කරුණාරත්න අහිමිවීමට හේතු වී තිබේ.

කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි චන්දිමාල් නායකත්වය හිමිවීමෙන් පසු ලැබුණු පළමු වගකීම වූ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. සාම්ප්‍රදායික ගාල්ල තණතීරුවේදී පළමු දින 2 තුළ පිතිකරුවන්ට ලබා දෙනු ලබන දායකත්වය ප්‍රධාන කොට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ගෙවී ගිව දවස් කීපයේදී වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා, උදෑසන කාලයේදී වේග පන්දු යවන්නන්ට සුළු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

එංගලන්ත කඳවුරෙන් වාර්තා වුණු විශේෂ කරුණ වන්නේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 697 වැනි ක්‍රීඩකයා ලෙසින් ඩෑන් ලෝරන්ස් ටෙස්ට් වරම් දිනා ගැනීමයි. ටෙස්ට් වරම් හිමිවීමේදී සාම්ප්‍රදායිකව ලබා දෙනු ලබන කැප් තොප්පිය, ඔහු කළින් ක්‍රීඩා කළ එසෙක්ස් කණ්ඩායමේ නායක ජේම්ස් ෆෝස්ටර් විසින් පිරිනමන ලදී. ෆෝස්ටර් වත්මන් එංගලන්ත කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශකයකු ලෙසින් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ පරිදි ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ අවතීර්ණ වද්දී එංගලන්ත පිල ඔවුන් සතු ප්‍රධානම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ජැක් ලීච් සහ ඩොම් බෙස් කැඳවමින් අවතීර්ණ වී තිබේ. අද තරගයේදී ජේම්ස් ඇන්ඩර්සන්ට ස්ථානය අහිමිවීම කැපී පෙනෙන අතර වමතින් පන්දු යවන සෑම් කරන්, මාක් වුඩ් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටියි.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ,  මෑතකදී අභාවප්‍රාප්ත වුණු ක්‍රීඩකයින් වන ජෝන් එඩ්රිච්, රොබින් ජැක්මන් සහ ඩොම් ස්මිත් ට සිහි කිරීමක් වශයෙන් එංගලන්ත කණ්ඩායම මෙම තරගයේදී කළු පැටි පැළඳ ක්‍රීඩා කරති.

ශ්‍රී ලංකා පිල – 1. ළහිරු තිරිමාන්න, 2. කුසල් පෙරේරා, 3. කුසල් මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල් (නායක), 5. ඇන්ජලෝ මැතිව්ස්, 6.නිරෝෂන් දික්වැල්ල, 7. දසුන් ශානක, 8. වනිඳු හසරංග, 9. ඩිල්රුවන් පෙරේරා, 10. ලසිත් ඇඹුල්දෙණිය, 11. අසිත ප්‍රනාන්දු

එංගලන්ත පිල – 1. ඩොම් සිබ්ලි, 2. සැක් ක්‍රෝලි, 3. ජොනී බෙයාස්ටූ, 4. ජෝ රූට් (නායක), 5. ඩෑන් ලෝරන්ස්, 6. ජොස් බට්ලර්, 7. සෑම් කරන්, 8. ඩොම් බෙස්, 9. ජැක් ලීච්, 10. මාක් වුඩ්, 11. ස්ටුවර්ට් බ්‍රෝඩ්.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest