slc
logo
Home   |    News
ජනවාරි 15, 2021
රූට්ගේ ශතකයෙන් එංගලන්තය 185 කින් ඉදිරියට එයි

sinhala editor

Chamila Karawita reporting from Galle

පිතිහරඹයට අමතරව පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදීද අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත්වීම මත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) අයහපත් ආලෝක තත්ත්වය මත නියමිත වේලාවට පෙර තරගය නිමා කරන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී ලකුණු 185 කින් ඉදිරියට පැමිණීමට ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ සමත්වී සිටියහ. ලබා දුන් උඩ පන්දු කිහිපයක් පන්දු රකින්නන් අතින් ගිලිහී යෑම, සිය වාසියට හරවා ගත් එංගලන්ත පිතිකරුවෝ තේ පානයට පෙර තරගය නතර කර දමනා විට කඩුලු 4 ක් දැවී ලකුණු 320 ක් ලබාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව පසු කිරීම සඳහා ලකුණු 08 ක් අවශ්‍යව තිබියදී දිනය ඇරැඹූ එංගලන්ත කණ්ඩායම දිනය තුළදී රිසිසේ පන්දුවට පහර දෙමින් ලකුණු 193 ක් රැස් කර ගැනීමට සමත්වද්දී කඩුලු 2 ක් පමණක් බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දැවී ගිය කඩුලු 2, ලසිත් ඇඹුල්දෙණිය සහ ඩිල්රුවන් පෙරේරා අතර බෙදී ගියහ.

ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව තියුණු ලෙස දඟ කැවීමට සමත් වුවද සන්සුන් ලෙස පිත්ත හැසිරවූ රූට් සිය 18 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට සමත්වූවේය. ශතකය ලබා ගැනීමත් සමඟ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ රූට්, ටෙස්ට් තරගයකදී පන්දුවට පහර දිය යුතු ආකාරය අමතක කර දමා සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට පාඩමක් වන අයුරින් පන්දුවට පහර දුන්නේය. අවශ්‍ය අවස්ථාවේදී ඉදිරි පාදයෙන්ද නැතිනම් පසු පස පාදයෙන් ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩකයින් නොමැති හිඩැස් අතරින් පන්දුව ස්ථාන ගත කිරීම රූට්ගේ ඉහළ තලයක පැවැතිණ.

පන්දු 254 කට මුහුණ දෙමින් රූට් රැස් කරන ඇතු ලකුණු 168, එංගලන්ත පිතිකරුවකු විසින් ශ්‍රී ලංකාවේදී ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද වාර්තා පොත් අතරට එකතු වනු ඇත. කෙවින් පීටර්සන් 2012 වසරේදී රැස් කරන ලද ලකුණු 151 මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය. ටෙස්ට් දිවියේ ද්විත්ව ශතක 3 කට හිමිකම් කියන දකුණත් පිතිකරුවා ලකුණු 150 සීමාව ඉක්මවා ගිය 8 වැනි අවස්ථාව ලෙසින් අද දිනයේ ක්‍රීඩා කරන ලද ඉනිම සටහන් විය. රූට් ලකුණු 66 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවූයේ යැයි කරන ලද ඉල්ලීමට විනිසුරු ප්‍රතිචාර නොදැක්වීම මත නායක චන්දිමාල් එය අභියෝගයකට ලක් කළේය. පුණරූපණ වලට අනුව විනිසුරුවරයාගේ තීරණය රූට්ගේ වාසියට හිටි බැවින් තව දුරටත් පිටියේ රැඳී සිටීමට ඔහු වාසනාවන්ත විය.

අද දිනයේදී දැවී ගිය පළමු පිතිකරුවා වූයේ ජොනී බෙයාර්ස්ටෝය. පෙර දිනයේදී ලකුණු 47 ක් ලබාගෙන සිටි බෙයාර්ස්ටෝ අද දිනයේදී ලකුණක් ලබා ගැනීමට පෙරම තම තෙවැනි කඩුල්ල වශයෙන් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය ආරම්භය සාර්ථක කර ගත්තේය. දිනයේ කැපී පෙනෙම සම්බන්ධතාවය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

මංගල ඉනිමට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඩැන් ලෝරන්ස්, සිය නායකයාගේ ඔවදන් ලබා ගනිමින් මංගල ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට තරම් වාසනාවන්ත විය. කිසිදු අපහසුතාවයකින් තොරව තම නායකයා පන්දුවට පහර දෙන අයුරු දැක බලා ගනිමින් පන්දුවට පහර දුන් ලෝරන්ස්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 43 කුත් පන්දුවකදී ලකුණු 173 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. එම සම්බන්ධතාවයේදී වැඩි ආධිපත්‍යයක් ලෝරන්ස්ගේ පහරවල් වල පැවැතියේ යැයි කිවහොත් නිවැරදිය.

මුහුණ දුන් පළමු පන්දුවටම ලකුණක් ලබා ගනිමින් සිය ටෙස්ට් තරගය දිවිය ඇරැඹූ ලෝරන්ස්, දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසු ලසිත් ඇඹුල්දෙණියට එවන ලද පන්දුවකට වේගවත් පහරක් එල්ල කරමින් ලකුණු 6 ක් ලබා ගැනීමට සමත්විය. මෙය මෙම තරගයේදී එංගලන්ත පිතිකරුවකු විසින් එල්ල කරන ලද එකම හයේ පහර ලෙසින් සටහන් විය.

23 හැවිරිදි ලෝරන්ස් ඩිල්රුවන් පෙරේරාගේ ගොදුරක් ලෙසින් දැවී යන විටත් පන්දු 150 කට මුහුණ දෙමින් ලකුණු 73 ක් වාර්තා කරගෙන සිටියේය. පන්දු යවන්නන්ගෙන් ලද බුරුලද ප්‍රයෝජනයට ගත් දකුණත් නවක පිතිකරුවා වෙත ඉහළ නැගී ආ පන්දුව, ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රැකී කුසල් මෙන්ඩිස් විසින් රැක ගන්නා විට තම ඉනිම තවත් හතරේ පහර 6 කින් වර්ණවත් කරගෙන සිටියේය. ලෝරන්ස් ලකුණු 60 ලබා සිටියදී ගලීහි පන්දු රැකි කුසල් මෙන්ඩිස් අතින්ද ලකුණු 70 ක් ලබා සිටියදී ලබා දුන් ස්ටම්ප් කිරීමේ අවස්ථාවත ශ්‍රී ලංකා පිලෙන් ගිලිහී ගියහ. තේ පානයට තරගය නිමා කිරීමට පෙර රූට් විසින් එල්ල කරන ලද පහරක් ෂෝට් ලෙග් හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ ඇඟේ වැදුණු අතර එහිදී ඔහු වේදනාවෙන් සිටි අයුරු දක්නට ලැබිණ. කෙසේ වෙතත් ඔහුගේ සුව දුක් විමසීමට එංගලන්ත නායකයා එම අවස්ථාවේ අමතක නොකිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ජීව ගුණය පෙන්නුම් කරන්නක් බවට පත්විය.

මේ වන විට ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වන්නේ වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වන අතර ඔහු පන්දුවාර 38 ක් යවමින් ලකුණු 131 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. ඔහුගේ පන්දු යැවීමේදී බොහෝ අවස්ථාවල පිතිකරුවන්ට අභියෝගයක් වන අයුරින් පන්දු යැව්වද අනෙක් පන්දු යවන්නන්ගෙන් ඔහුට ලැබිය යුතු දායකත්වය අද දිනයේදී නොලැබිණ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් පන්දුවාරයකට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දී සිටින පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංග වන අතර ඔහුගේ පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 4.20 ක අගයක් ලබා ගැනීමට පිතිකරුවෝ සමත්ව සිටිති. එහෙත් ඔහුට එකම කඩුල්ලක් හෝ නොදී සිටීමට එංගලන්ත පිතිකරුවෝ වග බලාගෙන තිබිණ.

පෙර දින රාත්‍රියේ සිට අළුයම කාලය දක්වා ගාල්ල ප්‍රදේශය වෙත ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මිනිත්තු 70 ක ප්‍රමාදයකින් තරගය ආරම්භ වුවද දිනය තුළ පන්දුවාර 88 ක් යැවීමට විනිසුරුවන් සැලසුම් කළහ. කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය නතර කර දැමීමත් සමඟ වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය. ප.ව. 5.20 ට පමණ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණු ප්‍රධාන විනිසුරු දෙපළ වුණු කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ අද දිනට තරගය අත හැර දැමීමට තීරණය කළහ. ඒ අනුව අද දිනයේදී තරගයට අහිමි වුණු පන්දුවාර සංඛ්‍යාව 35 කි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee