slc
logo
Home   |    News
මාර්තු 15, 2021
ජීවන් මෙන්ඩිස්ගෙන් කඩුලු 5ක්

sinhala editor

කලුතර නාගරික පිලට එරෙහි තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලු පහක් දවාලමින්ද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අමතරව මහනුවර කස්ටම් පිලට එරෙහි තරගයේදී ගාල්ල ක්‍රීඩා සමාජයේ චලන ද සිල්වා ලකුණු 23කට කඩුලු 4ක් බිද දමමින්ද සෙබස්තියනයිට්ස්ට එරෙහි තරගයේදී ටැමිල් යුනියන් පිලේ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 19කට පිතිකරුවන් හතරක් දවාලමින් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සෙනසුරාදා (13) පැවැති තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

පිතිකරුවන් අතර මෙදින වැඩම ලකුණු ලබාගත්තේ පොලීසිය සහ කුරුණෑගල අතර තරගයේදී කුරුණෑගල යූත් කණ්ඩායමේ ගයාන් මනීෂාන්ය. ඔහු පන්දු 64කදී හයේ පහක් හතරේ තුනක් සමග නොදැවී ලකුණු 85ක් රැස් කළේය. නුගේගොඩ – නිගම්බු තරගයේදී නිගම්බු කණ්ඩායමේ නායක ඩිල්ෂාන් මුණවීර පන්දු 44කදී හයේ හතරක් හතරේ හයක් සමග ලකුණු 74ක් ලබා ගනිමින් නැවත වතාවක් ලකුණු අතරට ඒමට සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී පොලීසිය සහ කුරුණෑගල යූත් අතර තරගය කණ්ඩායම් දෙකම ලකුණු 155 බැගින් සමවිමෙන් කණ්ඩායම් දෙකට ලකුණු 1-1 බැගින් පිරිනමන ලදී. මේ තරගාවලියේ තරගයක් සමවූ ප්‍රථමවතාව මෙයයි. මෙදින පැවැති තරග අතුරින් නිගම්බු, ගුවන් හමුදාව, මුවර්ස්, රාගම,ගාල්ල,බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

මීගමුව –  නුගේගොඩ

මීගමුවට කඩුලු 9ක පහසු ජයක්

එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවති “ සී ” කොටසට අයත් වූ තරගයේ දී නුගේගොඩ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස නිගම්බු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නායක  ඩිල්ෂාන් මුණවීර සහ ළහිරු මිලින්ත ප්‍රථම කඩුල්ලට පන්දුවාර 12.5කදී ලකුණු 124ක් රැස් කර තම කණ්ඩායමට පහසු ජයග්‍රහණ මාවතක් විවෘත කර දුන්හ.

නායක දිල්ෂාන් මුණවීර පන්දු 44කදී හතරේ හයක් හයේ හතරක් සමග ලකුණු 74ක් ද ළහිරු මිලන්ත පන්දු 49කදී හතරේ හතක් සමග නොදැවී ලකුණු 66ක් ද රැස්කර දස්කම් පෑහ .නුගේගොඩ කණ්ඩායමේ ද ප්‍රමුද් හෙට්ටිවත්ත (51) සහ මුදිත ලක්ෂාන් (නොදැවී 60) දක්ෂතා දක්වමින්  සිවිවන කඩුල්ලට පන්දුවාර දහයකදී එක්කළ ලකුණු සංඛ්‍යාව 106කි.

නුගේගොඩ පන්දු වාර 20කදී කඩුලු 5ට 153 යි – (මුදිත ලක්ෂාන් නොදැවී 60,ප්‍රමුද් හෙට්ටිවත්ත 51,රොෂෙන් ප්‍රනාන්දු 28/2)

මීගමුව පන්දුවාර 16.5කදී කඩුලු 1 ට  154 යි – ( දිල්ෂාන් මුණවීර 74 ,ළහිරු මිලින්ත නොදැවී 66,විකුම් සංජය 29/)

ගුවන් හමුදාව –  වරාය අධිකාරිය

ගුවන් හමුදාවට ලකුණු 10ක ජයක්

‘බී’ කොටස් අයත් කටුනායකදී පැවැති මේ තරගයේ දී තියුණු සටනකින් පසුව ගුවන් හමුදාව ජය ගත්තේ ලකුණු 10කිනි. ගුවන් හමුදාවේ රවිඳු සෙම්බුකුට්ටිගේ පන්දු 30කදී හතරේ දෙකක් හයේ තුනක් සමග ලකුණු 46ක් රැස් කළේය. වරාය කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය (ලකුණු 53යි පන්දු 31යි හතරේ 5යි හයේ 3යි) ප්‍රමුඛව  ප්‍රසාන් වික්‍රමසිංහ සහ රජීව වීරසිංහ ජයග්‍රහණය හඹා ගියත් ඔවුනට අවසාන ඕවර 2-3 ඊට ළඟා වීමට අවස්ථාව නොලැබිණි.

ගුවන් හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 8කට 153 යි – (රවිඳු සෙම්බුකුට්ටිගේ 46 ,උදයවංශ පරාක්‍රම 25,සමීර ද සොයිසා 22,ඉෂාන් අබේරත්න 24/3)

වරාය පන්දුවාර 20කදී කඩුලු 7ට 143 යි – (ඉරෝෂ් සමරසූරිය 53, ප්‍රසාන් වික්‍රමසිංහ 27 , රජීව වීරසිංහ නොදැවී 12, සංජය රණවීර 14/2,අරවින්ද ප්‍රේමරත්න 20/2)

මුවර්ස් – කලුතර

මුවර්ස් පිලට කඩුලු 8 ක ජයක්

සී.සී.සී.ක්‍රීඩාංගණයේ පැවති “සී” කොටසට අයත් වූ මේ තරගයේදී මුවර්ස්ට පහසු ජයග්‍රහණයක් අත්කර දීමට මුල්වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් (ලකුණු 21කට කඩුලු 5යි ) සහ රනිත ලියනආරච්චි ය. (ලකුණු 39 යි පන්දු  26 යි හයේ හතරයි හතරේ 1යි ) මහේල උඩවත්ත නොදැවී ලකුණු 24ක් ලබා ගත්තේ පන්දු 15කදී හතරේ තුනක් සහ  හයේ පහරක් සමගය.

මූවර්ස් මේ තරගය ජය ගත්තේ තවත් පන්දු 68ක්ම ඉතිරිව තිබියදීය.

කලුතර නගර පන්දුවාර 13.5කදී සියලු දෙනා දැවී 74 යි. – ( පන්සිලු දේශාන් නොදැවී 21,තාරක වඩුගේ 23 ,ජීවන් මෙන්ඩිස් 21/5)

මුවර්ස් පන්දුවාර 8.4 කදී කඩුලු 2ට 75 යි – (රනිත ලියනආරච්චි 39, මහේල උඩවත්ත නොදැවී 24, මිතුන් ජයවික්‍රම 25/2)

රාගම – සැරසන්ස්

රාගමට කඩුලු 6ක ජයක්

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති “ ඩී” කොටසට අයත් මේ තරගයේ දී රාගම කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 3ක් දවාලීමත් ඉෂාන් ජයරත්න සහ ජනිත් ලියනගේ කඩුලු දෙක බැගින් දවාලීමත් මත සරසන්ස් ඉනිම 116කට සීමාවිණි .

රාගම පන්දුවට පහර දෙද්දි නිෂාන් මධුෂ්ක  පන්දු 53කදී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 58ක් ලබා පහසු ජයග්‍රහණයකට මං විවෘත ක‍ළේය.

සැරසන්ස් පන්දුවාර 19.1කදී 116 යි – ( කවීෂ කහතුඩුව ආරච්චි 17,හසෙන් රාමනායක 17,බිනුර ප්‍රනාන්දු 22/3,ඉෂාන් ජයරත්න 26/2,ජනිත් ලියනගේ 10/2)

රාගම පන්දුවාර 19.2කදී කඩුලු 4ට 120 යි – ( නිෂාන් මධුෂ්ක 58,සමිඳු ප්‍රනාන්දු නොදැවී 15,ආකාෂ් සේනාරත්න 19/1,අයන සිරිවර්ධන 11/1)

ගාල්ල – මහනුවර කස්ටම්

ගාල්ලට ලකුණු 24ක ජයක්

එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති ඒ කොටසට අයත් මේ තරගයේදී කැන්ඩි කණ්ඩායම ලකුණු 146ක ඉලක්කයක් කරා යද්දී ගාල්ල කණ්ඩායමේ චලන ද සිල්වා ලකුණු 23කට කඩුලු 4ක් දවාලීමෙන් ඔවුනගේ ඉනිම 121කට සිමාවිණි.

ගාල්ල පන්දුවට පහර දෙද්දී එරංග රත්නායක පන්දු 32කදි හතරේ දෙකක් හයේ දෙකක් සමග ලකුණු 45ක්ද දිල්ෂාන් කාංචන පන්දු 43කදී හතරේ පහක් සමග ලකුණු 40ක් ද ලබා දක්ෂතා පෙන්නුම් කළහ.

ගාල්ල පන්දු වාර 20කදී කඩුලු 7ට 145යි – (එරංග රත්නායක 45, දිල්ෂාන් කාංචන 40, විනුර දුල්සර 19, සම්පත් පෙරේරා 34/3යි, සචිත්‍ර පෙරේරා 15/1)

කැන්ඩි කස්ටම් පන්දුවාර 19.1කදී 121යි – (චාමික විජේසිංහ 24, සසිත් මනුරංග 23, චලන ද සිල්වා 23/4)

බ්ලූම්ෆීල්ඩ් – ලන්කන්

බ්ලූම්ෆීල්ඩ්ට කඩුලු 4ක ජය

කටුනායක පැවැති බී කොටසට අයත් මෙම තරගයේදී බ්ලූම්ෆීල්ඩ් ලකුණු 137ක ඉලක්කයක් කරා යද්දී නිපුන් හග්ගල්ල පන්දු 39කදී හතරේ දහයක් සමග ලකුණු 57ක් ලබා ජයග්‍රහණ ඉලක්කය පහසු තත්ත්වයකට පත් කර ගත්තේය. ලන්කන් නායක හර්ෂ කුරේ පන්දු 58කදී හතරේ හතරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 50ක් ලබා සිටිමට සමත්විය.

ලන්කන් පන්දු වාර 20කදි කඩුලු 4ට 136යි – (දමිත් සිල්වා 34, හර්ෂ කුරේ නොදැවී 50යි, සංජික රිද්ම 28, දිලුන් ප්‍රනාන්දු 24/2)

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 19.1කදී කඩුලු 6ට 140යි – (නිපුන් හග්ගල්ල 57, කසුන් ඒකනායක 18, දමිත සිල්වා 20/2යි, සාලිය සමන් 24/1)

පොලීසිය – කුරුණෑගල

ලකුණු සමව අවස් විය

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති සී කොටසට අයත් මේ තරගයේ ලකුණු සමවීමෙන් කණ්ඩායම් දෙකටම ලකුණ බැගින් පිරිනැමිණි. කුරුණෑගල යූත් පන්දු වාර 20කදී කඩුලු 3කට ලබාගත් ලකුණු 155ට පිළිතුරු ලෙස පොලීසියද පන්දුවාර 20කදි කඩුලු 8කට ලකුණු 155ක් ලබා ලකුණු සමවිය.

කුරුණෑගල කණ්ඩායමේ ගයාන් මහීෂාන් පන්දු 64කදී හයේ පහක් හතරේ තුනක් සමග නොදැවි ලකුණු 85ක් ලබා මෙදින් වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට පත්විය. පොලීසියේ මදුරංග සොයිසා ලකුණු 62ක් ලබාගැනීමට සමත්විය.

කුරුණෑගල යූත් පන්දු වාර 20කදී කඩුලු 3කට ලකුණු 155යි – (ගයාන් මහීෂාන් නොදැවී 85, ධනුෂ්ක

ධර්මසිරි 28, ළහිරු දියන්ත 23/2)

පොලීසිය පන්දු වාර 20කදී කඩුලු 8කට 155යි – (මදුරංග සොයිසා 62, අසේල් සිගේරා 22, සුපුන් මධුෂ්ක 21, නිම්සර අතරගල්ල 27/3යි, රන්දීර රණසිංහ 26/2)

ටැමිල් යුනියන් – සෙබස්ටියනයිට්ස්

ටැමිල් යුනියන් පිලට ලකුණු 49 ක ජයක්

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති ඩී කොටසට අයත් මේ තරගයේදී ටැමිල් කණ්ඩායමේ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 19කට කඩුලු හතරක් දවාලීමත් සිතාර ගිම්හාන් (32) සුපුන් කාවින්ද (28) ලකුණු රැස් කිරීමත් මත ටැමිල් කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත්විය.

ටැමිල් පන්දු වාර 20කදී කඩුලු 7කට ලකුණු 141යි – (සිතාර ගිම්හාන් 32, සුපුන් කාවින්ද 28, මනෝජ් සරත්චන්ද්‍ර16, ඉසුරු උදාන නොදැවී 16, සචිත්‍ර ජයතිලක 19/2යි, චතුර ඔබේසේකර 29/2යි, තරූෂ් ප්‍රනාන්දු 21/2)

සෙබස්ටියනයිට්ස් පන්දු 20කදී සියලුදෙනා දැවී 92යි – (සචා ද අල්විස් 21, විහාන් ගුණසේකර 22, ශිරාන් ප්‍රනාන්දු 19/4යි, ප්‍රමෝද් මධුෂාන් 19/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee