slc
Home   |    News
මාර්තු 20, 2021
යුද හමුදාව පරාජය කළ එස්. එස්. සී. විස්සයි-20 ශූරයෝ වෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 2020-21 වසරේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජ අද (20 දා) සමත්විය. යුද හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 29 ක ජයක් වාර්තා කළ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු එස්. එස්. සී. ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් දිනා ගත්හ. අනුශූරතාවයට පත් දුෂාන් විමුක්තිගේ නායකත්වයෙන් යුත් යුද හමුදා පිලට ලක්ෂ 3 ක මුදලක් හිමිවිය.

එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 146 ක් ලදුව එම ඉලක්කය හඹා යෑමේදී යුද හමුදා කණ්ඩායම පන්දුවාර 19.2 කදී ලකුණු 117 කට සීමා කිරීමට එස්. එස්. සී. පන්දු යවන්නෝ සමත්වූහ.

එම හඹා යෑමේදී ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගැනීමට යුද හමුදා පිල සමත් වුවත්, තෙවැනි පන්දුවාරයේදී දුෂාන් විමුක්තිවත් සිව්වැනි පන්දුවාරයේ සික්කුගේ ප්‍රසන්නගේ කඩුලු දවා ගැනීමට සමත්වීමත් සමඟ ප්‍රතිවාදීහු පාලනයකට නතු කර ගැනීමට එස්. එස්. සී. පන්දු යවන්නන්ට හැකියාව ලැබිණ.

කෙසේ වෙතත් ආරම්භක පිතිකරු අශාන් රන්දික හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 35 කදී ලකුණු 44 ක් ලබා ගත් නමුත් එස්. එස්. සී. ජයග්‍රහණයේ වීරයා වුණු කඩුලු රැකි ක්‍රිෂාන් සංජුල විසින් දුවද්දී දවා ගැනීමට සමත්වීම නිසා ඔහුගේ ඉනිම හමාර විය. මෙම තරගයට ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්නද සහභාගි වුවත් ඔහු ලකුණු 09 කට දැවී ගියේය. පන්දු යවන්නන් අතරින් හිමේෂ් රාමනායක ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගනිද්දී කලන පෙරේරා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

එස්. එස්. සී. පිල පන්දුවට පහර දීමේදී ක්‍රිෂාන් සංජුලගේ ඉනිම කැපී පෙනුණි. පන්දු 62 කින් සමන්විත වුණු හතරේ පහර 5 ක් ද ඇතුළත් ලකුණු 71 ක නොබිඳුණු ඉනිම එස්. එස්. සී. පිලේ ජයග්‍රහණයේ කොඳු නාරටිය බවට පත්විය. වර්ෂාව ඇති වීමට වැඩි ඉඩකඩක් පැවැති මන්දාලෝක තත්ත්වය මත පැවැති මෙම තරගයේදී සංජුලගේ ඉනිම ඔහුට අවසන් තරගයේ වීරයා සම්මානයද දිනා දුන්නේ මුදලින් රුපියල් හත්තෑපන්දහසක මුදලක්ද හිමිකර දෙමිනි.

අර්ධ අවසන් තරගයේදී අර්ධ ශතකයක් ලබා ගනිමින් එස්. එස්. සී. පිල අවසන් මහ තරග වරමට පැමිණීම සඳහා වැඩි දායකත්වයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දුට අද දිනයේදී ලබාගත හැකි වූයේ ලකුණක් පමණි. අවිෂ්ක සමඟ ඉනිම ඇරැඹි නිපුන් ධනංජය පන්දු 24 කදී ලකුණු 27 ක්ද මැද පෙළින් පැමිණි නුවනිඳු ප්‍රනාන්දු පන්දු 20 කදී ලකුණු 27 ක් රැස් කරමින් එස්. එස්. සී. පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වයක් දැක්වූහ.

මූලික වටයේ දක්වන ලද දක්ෂතා පදනම්ව තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් වෙනුවෙන් මුදලින් ත්‍යාග සහ සහතික පත් ලබා දුන් අතර එහිදී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග 6 කදී කඩුලු 15 ක් දවා ගත් ඉෂාන් ජයරත්නට මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්ද, දක්ෂතම පිතිකරුවා ලෙස නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග 6 කදී අර්ධ ශතක 3 ක් ද සමඟින් ලකුණු 247 ක් ලබා ගත් මුදිත් ලක්ෂාන්ට මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්ද සහ තරගාවලියේ වීරයා වශයෙන් නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 206 ක් සහ කඩුලු 6 ක් දවා ගත් ප්‍රමෝද් හෙට්ටිවත්ත මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද පිරිනැමිණ.

තරගාවලියේ ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා, තරගාවලි සංවිධාන කමිටු සභාපති බන්දුල දිසානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරග ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අවසන් තරගයේ වීරයා – ක්‍රිෂාන් සංජුල

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඉෂාන් ජයරත්න (රාගම ක්‍රීඩා සමාජය)

තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – මුදිත ලක්ෂාන් (නුගේගොඩ ක්‍රීඩා සමාජය)

තරගාවලියේ වීරයා – ප්‍රමෝද් හෙට්ටිවත්ත (නුගේගොඩ ක්‍රීඩා සමාජය)

එස්. එස්. සී. පිල පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 146 යි – (ක්‍රිෂාන් සංජුල 71*, නුවනිඳු ප්‍රනාන්දු 27, නිපුන් ධනංජය 27, චරිත් අසලංක 10, හේෂාන් හෙට්ටිආරච්චි 27/2)

යුද හමුදාව පන්දුවාර 19.2 කදී සියලු දෙනා දැවී ලකුණු 117 යි – (අශාන් රන්දික 44, හිමාෂ ලියනගේ 32, හිමේෂ් රාමනායක 23/3, කලන පෙරේරා 15/2, තරිඳු රත්නායක 21/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest