slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2021
කලකට පසු එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට යළිත් දකුණු අප්‍රිකාව මුණ ගැසෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ශූරයින් තේරීමේ අභිමුවට දැන් පැමිණ තිබේ. ඒ හෙට (07 දා) පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය අනුවය. මෙම තරගයේ ජය ලබන කණ්ඩායම තරගාවලිය 2-1 ක් වශයෙන් ජයග්‍රහණය කරනු ඇත. එබැවින් හෙට තරගය දෙපිළටම ඉතාමත් තීරණාත්මකය.

ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ඇත්තේ 2019 පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදීය. එම තරගාවලියේදී කොදෙව් පිලට එරෙහිව 3-0 ක පූර්ණ තරගාවලි ජයක් ශ්‍රී ලංකා පිල වාර්තා කළේය. එතැන් පටන් ශ්‍රී ලංකාව තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, එංගලන්තය සහ ඉන්දියාව සමඟ පැවැති තරගාවලි 4 ම පරාජයට පත්ව සිටියි.  ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු පිළ ගත්තද ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය මව්බිමේදී පැවැති තරගාවලිය 3-0 ක පූර්ණ ජයග්‍රහණයක් ලැබීමෙන් පසු සහභාගිවුණු එකම තරගාවලියක් හෝ ජය ගැනීමට සමත්ව නොමැති. ඔවුන් පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වී තිබෙන අතර අයර්ලන්තය අතර තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කරගෙන තිබේ. ඒ අතින් බලන විට කණ්ඩායම් දෙකම ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලය තුළ එකම එක්දින තරගාවලියක් හෝ ජය ගැනීමට අසමත්වී සිටින අතර එකී පරාජිත ගමනට තිත තැබීමට හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇත.

මීට අමතරව හෙට තරගයේ ජයග්‍රහණය තවත් සුවිශේෂී කරුණක් වෙනුවෙන් හේතුවනු ඇත. ඒ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් වූ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 5 අතරට පැමිණීමටය.අ සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව ජයග්‍රහණ 3 ක් ලබමින් ප්‍රසාද ලකුණු 34 ක් ද ශ්‍රී ලංකාව ජයග්‍රහණ 3 ක් ලබමින් ප්‍රසාද ලකුණු 32 ක් ද ද ලබා එම සටහනේ පිළිවෙළින් 8 සහ 9 යන ස්ථානවල පසුවෙති. එම සටහනට අනුව 5 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානු පිල ලබා සිටින්නේද ප්‍රසාද ලකුණු 40 ක් බැවින් හෙට තරගය ජය ගනු ලබන කණ්ඩායමට පාකිස්තානය 6 වැනි තැනට තල්ලු කොට පස්වැනි ස්ථානය අත්පත් කර ගැනීමේ අවස්ථාවද උදාවනු ඇත.

දසුන් ශානක කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමෙන් පසු අංශ තුනෙන්ම ශ්‍රී ලංකාව සීඝ්‍ර වර්ධනයක් ලබා තිබීම නොරහසකි. ඉන්දීය තරගාවලියේ සිට එය දැක ගැනීමට හැකිවූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී එය උච්ඡතම අවස්ථාවට එළැඹියේය. එම තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 300 ඉක්මවා යන ලද්දේ මාස 18 කට ආසන්න කලකින් පසුවය. කෙසේ වෙතත් දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් තුන් ඉරියව්වෙන්ම අසාර්ථක වීම එම තරග පරාජයට හේතුවිය.

දකුණු අප්‍රිකාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී පළමු තරගය ඔවුන් පරාජයට පත් වුවද දෙවැනි තරගයේදී නැවතත් තරගයට අවතීර්ණව තරගාවලියට සජීවීත්වයක් එක් කරගත්තේය. පළමු තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටීම සංචාරකයින්ගේ ආත්ම ශක්තිය ඉහළ යවන්නක් බවට පත්ව තිබේ.

පන්දු යැවීමේ දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ කාගිසෝ රබඩා ආබාධයකට ලක් වුවත් අවසන් මොහොත වන තෙක්ම ඔහුගේ සේවය ලබා ගැනීම දකුණු අප්‍රිකානු කලමනාකාරීත්වයේ තීරණය වී තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ හෙට උදෑසන පැවැත්වීමට නියමිත යෝග්‍යතා පරීක්ෂණයේ තීරණය අනුව රබඩා පිළිබඳව තීරණය කරන බවයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව සැලසුම එළද්දී දඟ පන්දුව ඒ සඳහා වන හොඳම තුරුම්පුව වන බව ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියද, පැවැති තරග වලදී ප්‍රවීන් ජයවික්‍රම හැරුණු විට දඟ පන්දු අංශය නියෝජනය කළ අකිල ධනංජය පමණක් නොව වනිඳු හසරංගට එරෙහිව දකුණු අප්‍රිකානු පිතිකරුවෝ තරමක අවබෝධයකින් යුතුව ක්‍රීඩා කරති. ඔවුන් දෙදෙනා එකතුව පන්දුවාර 37 ක් යවා තිබෙන අතර එහිදී ලකුණු 226 ක් රැස් කරගෙන ඇත්තේ වනිඳුට 6.52 ක් සහ අකිලට 6.72 ක තරම් වේගයක් පන්දුවාරයකට රැස් කර ගනිමිනි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන මිකී ආතර්ගෙන් කරන ලද විමසීමේදී තණතීරුව දඟ පන්දුවට හොඳින් පන්දුවට පහර දීමට හැකියාවක් ඇති මාක් බවුචර් දකුණු අප්‍රිකානු පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් සිටීම, දඟ පන්දු යවන්නන්ට එරෙහිව ඔවුන්ගේ පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දීම අරුමයක් නොවන බව සඳහන් කර සිටියේය.

“ඔවුන්ගේ පිතිකරුවන් අපේ දඟ පන්දු යවන්නන්ට හොඳින් පන්දුවට පහර දීම ගැන මට පුදුමයක් නෑ. මොකද මම පුහුණුකරු මාක් බවුචර්, මම දන්නවා ඔහු ස්වීප්, ස්වීප්, ස්වීප් පහර කොච්චර හොඳට ගහනවද කියලා. අපි ඒ සඳහා සූදානම් වුණා. ඒත් අපි බලාපොරොත්තු වුණු තරම් තණතීරුවේ පන්දුව දඟ කැවුණේ නෑ. නමුත් හෙට දිනයේදී මීට වඩා පන්දුව හොඳින් තණතීරුවට අනුගත වෙලා වැඩි දඟ කැවීමක් තියේවි” යැයි ආතර් සඳහන් කරයි.

කෙසේ වෙතත් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් කීපයක් සිදුවනු ඇති බවට අපේක්ෂා කළ හැක. ආරම්භක පිතිකරු මිනෝද් භානුක මෙන්ම අංක 3 පිතිකරු භානුක රාජපක්ෂ දෙදෙනාම පිතිකරුවන් වශයෙන් කැපී පෙනෙන දෙයක් කිරීමට අපොහොසත්ව සිටින බැවින් ඔවුන් වෙනුවට ආදේශකයන් බලාපොරොත්තු විය හැක. එහිදී බොහෝ විට මෑතකදී පල්ලකැලේදී නිමාවට පත් වුණු ආරාධිත විස්සයි-20 තරගාවලියේ දක්ෂතා අතරට පැමිණි හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස්ට ලැබීමේ වැඩි ඉඩ කඩක් පවතිනු ඇත. එමෙන්ම අකිල ධනංජයද තවමත් පන්දු යැවීමේ රිද්මය හඳුනාගෙන නොමැති බවක් පෙනී යයි. ඔහු යවන ලද පන්දු වලදී බහුතරයක් පන්දු පා දඟ පන්දු වශයෙන් යොමු කරනු ලබන අතර එහි පන්දු පිතිකරුට අභියෝගයක් වන ස්ථානයන්හි පතිත කරවන්නේද යන්න ගැටලු සහගතය.

“මම කඩුලු දවා ගැනීම සම්බන්ධව දඟ පන්දු යවන පුහුණුකරුත් අකිලත් (ධනංජය) සමඟ දීර්ඝ පිළිසඳරක යෙදුණා. මම හිතන්නේ අපි පන්දු යැවීම වෙනුවෙන් වන මූලික කටයුතු ගැන අවධානය යොමු කරලා තියෙනවා” යැයි අකිල ධනංජය පිළිබඳව කරන ලද විමසීමේදී පිළිතුරු දුන් ආතර්, “මම හිතන විදියට අකිල බොහෝ විට වෙනස් දේ කිරීමට උත්සාහ ගන්නවා. ඔහු විතරක් නොවෙයි. ගොඩක් අපේ පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් මේ තරග වලදී විවිධ දේ අහත් බැලුවා” යනුවෙනි.

කෙසේ වෙතත් අකිල ධනංජයගේ ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් මෙන්ම තවමත් ජාත්‍යන්තර තරග වරම් දිනා ගැනීමට අපොහොසත්ව සිටින මහීෂ් තීක්ෂණ සහ පුලින තරංගද සංචිතයේ සිටිති. හෙට තරගය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (06 දා) උදෑසන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම්වල නිරත වුණු අතර දකුණු අප්‍රිකානුවන් සවස් යාමයේ පැමිණියේය. පුහුණු කිරීම්වලදී පන්දුවට පහර දුන් ආකාරය අනුව දිනේෂ් චන්දිමාල් වේලාසනම පන්දුවට පහර දුන් බැවින් හෙට තරගයට ඔහු ක්‍රීඩා කිරීම වැඩි ඉඩ කඩක් පවතිනු ඇත. ඒ පිළිබඳව ප්‍රධාන පුහුණුකරුගෙන් කරන ලද විමසීමේදීද එවැනි සූදානමක් පවතින බවට ඉඟි පළ කර සිටියේය. මෙම පුහුණු සැසිය සඳහා කුසල් ජනිත් පෙරේරාද සහභාගිව සිටි අතර ඔහුද පිතිකරණ පුහුණුවීම් වල නියැළිණ.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. දිනේෂ් චන්දිමාල්, 3. කමිඳු මෙන්ඩිස්/භානුක රාජපක්ෂ, 4. ධනංජය ද සිල්වා, 5. චරිත් අසලංක, 6. දසුන් ශානක, 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. රමේෂ් මෙන්ඩිස්/මහීස් තීක්ෂණ, 10. දුෂ්මන්ත චමීර, 11. ප්‍රවීන් ජයවික්‍රම.

දකුණු අප්‍රිකානු පිල – 1. ජෙනමන් මාලන්, 2. ඒඩියන් මාක්‍රම්, 3. රීසා හෙන්ඩ්‍රික්ස් 4. රාසි වැන්ඩර් ඩුසේන්, 5. හෙන්රිච් ක්ලාසන්, 6. වියාන් මල්ඩර් , 7. ඇන්ඩ්ල් පෙලුක්වායෝ, 8. කේෂව් මහරාජ් (නායක), 9. කාගිසෝ රාබඩා, 10. ජෝර්ජ් ලින්ඩේ, 11. ටබ්‍රෑස් ශම්සි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest