slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2021
තරගාවලිය දින්නත් පිතිකරණය ගැන නායකයා අසතුටින්

sinhala editor

By Chamila Karawita

දෙවැනි තරගයේදී ලද ලකුණු 78 ක නීරස පරාජය නිසා කල්තියාම තරගාවලි ජයග්‍රහණය පිළිබඳව තබා තිබූ ශ්‍රී ලංකා බලාපොරොත්තුව යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායමටද විවර විය. එහෙත් තෙවැනි තරගයේදී යළිත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පැමිණි දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ව අඩියටම ඇද දමමින් එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලි ජය ශ්‍රී ලංකාවට සුවිශේෂී වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 2019 වසරේදී වාර්තා කරන ලද එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව වාර්තා කරන ලද පළමු තරගාවලි ජයග්‍රහණය වශයෙන් සනිටුහන් වීමය. ලකුණු 78 ක ජයග්‍රහණයක් ලෙසින් සටහන් වුණු මෙම තරග ජයග්‍රහණයත් සමඟ 2023 ලෝක කුසලාන ගමනට සෘජුවම සුදුසුකම් ලැබීම සඳහා වූ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

තරගය පැවැති තණතීරුව දඟ පන්දු යවන්නන්ගේ රජ දහනක් වුවත් එම අසීරුතාව මධ්‍යයේ ප්‍රතිවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 203 ක බැම්මක් ගොඩ නැංවූහ. එක්දින තරගයකදී ලකුණු 200 ක් යනු හඹා යෑම ඉතාම පහසු ඉලක්කයක් වුවත්, තණතීරුවේ සහයෝගය මුලුමනින්ම පන්දු යවන්නන් සතු වූයෙන් දකුණු අප්‍රිකානුවන්ට වඩා එහි වැඩි වාසිය ලබා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 125 කට සීමා කළහ. එම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කීප දෙනෙකුගේම දක්ෂතා කැපී පෙනුණු අතර පිතිකරණයෙන් චරිත් අසලංකත්, තුන් ඉරියව්වෙන් දුෂ්මන්ත චමීරත් සහ පන්දු යැවීමෙන් මහීෂ් තීක්ෂණගේ දක්ෂතාත් කැපී පෙනුණි.

සිය මංගල තරගයට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ, ඔහු සතු දඟ කැවීමේ දක්ෂතාවය හැරුණු විට විශාල හැරවුමක්ද සමඟින් වූ කැරම් පන්දුවෙන්ද දකුණු අප්‍රිකානු පිතිකරුවන් අසීරුතාවයට ඇද දමමින් පන්දුවාර 10 ම යවමින් ලකුණු 37 ක කඩුලු 4 ක් දවා ගත්තේය. මෙය මංගල එක්දින තරගයකදී ශ්‍රී ලංකා පන්දු යවන්නකු සිය මව්බිමේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙසින්ද සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකාව තුළ මංගල තරගයකදී හොඳම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත්ව සිටියේ වනිඳු හසරංග වන අතර ඔහු 2017 වසරේදී සිම්බාබ්වේට එරෙහිව ගාල්ලේ පැවැති එක්දින තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට සමත්ව තිබේ.

තරගයෙන් පසුව අදහස් දක්වා සිටි තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද චරිත් අසලංක මෙන්ම නායක දසුන් ශානකද සඳහන් කර සිටියේ මහීෂ් තීක්ෂණ මෙරට ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් වනු ඇති බවයි. මෙහිදී අදහස් දක්වා සිටි නායකයා, තීක්ෂණව සංචිතයට කැඳවන ලද්දේ විස්සයි-20 තරගාවලිය අපේක්ෂාවෙන් වුවත් තණතීරුවේ මතුපිට ස්වභාවය අනුව ඔහුව මෙම තරගය ක්‍රීඩා කරවීම සඳහා තීරණය කළ බවයි.

“ඇත්තටම අපි මහීෂ් තීක්ෂණව ගෙනාවේ ටී-20 සෙල්ලම් කරන්න. නමුත් මේ වගේ තණතීරුවක මහීෂ් තීක්ෂණ වගේ පන්දු යවන්නකුව යොදා ගත්තොත් දකුණු අප්‍රිකානුවන්ට ඔහුව හඳුනගන්න ගොඩක් අමාරුයි කියලා. නායකයකු විදියට මම ඒ අවධානම ගත්තා. ඒ සඳහා තේරීම් කමිටුවත් පුහුණු අංශයත් මට සහයෝගය ලබා දුන්නා. ඒක අපිට ගොඩක් ලොකු වාසියක් වුණා මේ තරගය ජයග්‍රහණය කරන්න” යැයි තරගයෙන් පසු දසුන් ශානක අදහස් දක්වා සිටියේය.

තීක්ෂණ එක රැයකින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පහළ වූවකු නොවේ. ඉකුත්දා නිමාවට පත්වුණු ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට අඩුවෙන්ම ලකුණු ලබා (6.42)  දුන් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටිමි කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. පළමු පෙළ තරග 11  කට ක්‍රීඩා කර ඇති තීක්ෂණ කඩුලු 19 ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.15 ක් අගයක් රඳවා ගනිමිනි.

“අන්තර්ජාතිකම නොවුණත් යම්තාක් දුරට ඔහු ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. එයාව කියවන්න ලේසි නෑ. එයාගේ ගුග්ලි එක තියෙනවා. කැරම් බෝල් එක තියෙනවා. පිට දඟ පන්දුව තියෙනවා. ඉතිං වෙනස්කම් කීපයක්ම තියෙනවා. ඉතිං ඕනෑම කණ්ඩායමක් එක පාර ලේසි වෙයි කියලා. එයාට දක්ෂතාවයක් තියෙන නිසා තමයි තරගයට ක්‍රීඩා කෙරෙව්වේ. එයා දක්ෂතාවයක් තියෙන පන්දු යවන්නෙක් කියන එක අපි දන්නවා” යැයි දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“ඔහු හොඳ පන්දු යවන්නෙක්. දක්ෂතා අතර ඉඳපු නිසා තමයි කණ්ඩායමට තේරුණේ. ඉතිං අද ඔහු ඔප්පු කළා මංගල තරගයේදී ඔහුට කොයි වගේ දෙයක් කරන්න පුලුවන්ද කියලා. ඉතිං කඩුලු 4 ක් දවාගන්නවා කියන්නේ මංගල තරගයේදී ලේසි දෙයක් නොවෙයි. අපි හැමෝම දන්නවා ඔහු හොඳ පන්දු යවන්නෙක් කියලා. ඉස්සරහට අපිට තියෙන්නේ ඔහුගෙන් වැඩ ගන්න” යැයි තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලද චරිත් අසලංක  සඳහන් කර සිටියේය.

අවශ්‍යම තරගයේදී දක්ෂතා අතරට පැමිණෙමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුවද පන්දුවට පහර දීම අතින් තම කණ්ඩායම උපරිමයට පැමිණ නැති බව දසුන් ශානකගේ අදහසයි. “”අපි තවමත් පන්දුවට පහර දීමෙන් උපරිමයටම ඇවිල්ලා නෑ. යම්තාක් දුරට දුර්වලතා තියෙන තැන් තීයෙනවා. විශේෂයෙන්ම ඉස්සරහට යද්දී ස්වීප්, රිවර් ස්වීප් වගේ පහරවල් යොදා ගන්න ඕන. අපි තරගාවලි දිනනවා. ඒත් අපි ඉස්සහට යද්දී කණ්ඩායමක් විදියට බලන්න ඕන කොහොමද ලකුණු 300 ක ගහන්නේ. ලකුණු 300 ක් හඹා යන්නේ. ඒ වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම ‘ඩෙත්’ (ඉනිමේ අවසන් පන්දුවාර යන අදහස) එකේ පන්දු යවන්නේ කොහොමද කියන එක ගැන මම වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා” යැයි පවසන ශානක, “කණ්ඩායමක් විදියට සෑහෙන්න දේවල් තියෙනවා හදාගන්න. මේ කණ්ඩායම ගත්තොත් මම හිතන්නේ අද තරගය ක්‍රීඩා කරපු කණ්ඩායම ගත්තොත් තරග 50 ට වැඩිය ක්‍රීඩා කරපු අයට ඉන්නේ ධනංජය ද සිල්වායි දිනේෂ් චන්දිමාලුයි විතරයි. ඉතිං කණ්ඩායමක් විදියට අත්දැකීම් එක්ක තමයි හැම දේනම ගොඩ නැඟෙන්නේ. ඉතිං මේ ක්‍රීඩකයෝ ඉදිරියේදී හොඳ දක්ෂතා අතරට පැමිණේවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා” යනුවෙනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar