slc
Home   |    News
සැප්තැම්බර් 5, 2021
දකුණු අප්‍රිකානුවෝ එකට එක කරති

sinhala editor

By Chamila Karawita

ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ශතකයත් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත්වීමට ටබ්‍රේස් ශම්සි සමත්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (04 දා) සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තීරණය කෙරුණු අතර එහිදී ලද ජයග්‍රහණයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමටද දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් කාගිසෝ රාබඩා පන්දුවාර 6 ක් යැවීමෙන් අනතුරුව ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය නමුත් ඒ වන විටත් ලකුණු 16 කට ඉදිරි කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇද දැමිය හැකි උපරිම අසීරුතාවයට පත් කිරීමට ඔහු සමත්වූවේය. පළමුවෙන්ම අවිෂ්ක ප්‍රනාන්දුව දවාගත් රාබඩා අනතුරුව භානුක රාජපක්ෂගේ කඩුල්ල දවා ගන්නා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පස්වැනි පන්දුවාරය වන විට ලකුණු 18 ක් ලෙසින් සටහන් විය.

මැද පෙළින් පැමිණි චරිත් අසලංක සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීමේ බලාපොරොත්තුවෙන් වේගයෙන් ලකුණු රැස් කළද පෙරමුණේ සිදුවූ අපහසුතාවය නිසා ශ්‍රී ලංකාවට යළි හිස එසවීමේ අවස්ථාවක් නොවීය. වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකා පිලේ ඉලක්කය පන්දුවාර 41 කදී ලකුණු 265 ක් ලෙසින් වෙනස්වීම නිසා ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීම හැර වෙන විකල්පයක් නොවූයෙන් වේගවත් පහර කරා යෑමට අසලංක තීරණය කළේය. ලකුණු ලබා ගැනීම සඳහා ස්ලොග් ස්වීප් පහර සිය අවිය කරගත් අසලංක තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් කර ගත් නමුත් ස්ලොග් ස්වීප් පහරින්ම සිය ඉනිම අහවර කරගන්නා විට පන්දු 69 කදී ලකුණු 77 ක් ලබා සිටියේය. අසලංකගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා පිල සතු එකම බලාපොරොත්තු සහගත පිතිකරුවා වූයේ චාමික කරුණාරත්න වන අතර හේ පන්දු 23 කදී ලකුණු 36 ක් ලබා ගත්තේය.

කඩුලු 3 ක් අහිමි කරගත්තද අවසන් පන්දුවාර 10 දී ලකුණු 97 ක් රැස් කළ ජෙනමන් මලාන් ඇතුළු දකුණු අප්‍රිකානු පිතිකරුවෝ නියමිත පන්දුවාර 47 අවසනදී ලකුණු 283 දක්වා ලකුණු පුවරුව ඉහළ දැමූහ. තම 9 වැනි එක්දින තරගයේදීම තෙවැනි ජාත්‍යන්තර ශතකය වාර්තා කළ ජෙනමන් මලාන් දකුණු අප්‍රිකානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූවේය. නායක ටෙම්බා බවුමා සහ විශ්වාසවන්තම පිතිකරුවා වන කුවින්ටන් ඩි කොක් නොමැති දකුණු අප්‍රිකානු පිලට කිසිත් අඩුපාඩුවක් නොකළ මාලන්, ඉනිම අවසානයත් සමග සිය පෞද්ගලික ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 104.50 ක තරම් අගයක් දක්වා ඉහළ දමා ගත්තේය.

වැඩි කලබලයක් නොපෙන්වූ දකුණත් ආරම්භක පිතිකරුවා ලබාගත් ලකුණු 121 ක ඉනිම සඳහා පන්දු 135 කට මුහුණ දුන් අතර ඉන් 53 ක්ම නිලකුණු පන්දු ලෙස සටහන් විය. ඉනිම වර්ණවත් කරගන්නා ලද හතරේ පහර 9 ත් හයේ පහරත් සමඟ රැස් කරන ලද ලකුණු 42 ක හැරුණු විට මලාන්ගේ ඉනිම, එක ලකුණ බැගින් 65 ක්, 2 බැගින්  ලකුණු 8 ක් සහ තුන බැගින් ලකුණු 6 ක් කඩුලු අතර දිව යමින් රැස් කරන ලද ඒවා විය.

ප්‍රවීන් ජයවික්‍රම ක්‍රියාත්මක කරන ලද 23 වැනි පන්දුවාරයේදී ලකුණක් සඳහා පැති හුවමාරු කරගත් මලාන් අර්ධ ශතකය පන්දු 64 කදී සම්පූර්ණ කරගත්තේය. ඊට පන්දුවාර 4 කට පසු ජයවික්‍රමය විසින් යවන ලද පන්දුවාරයකදීම අනගි සහායක් ලබා දුන් රීසා හෙන්ඩ්‍රික්ස් ද තම අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

ඉනිම හමාර වීමට පන්දුවාර 2 ක් ඉතිරිව තිබියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව මලාන් දැවී යෑමට පෙර රීසා හෙන්ඩ්‍රිකස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක් සහ හෙන්රික් ක්ලාසන් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක් වශයෙන් අර්ධ ශතක සබඳතා දෙකක් පැවැත්වූහ.

දකුණු අප්‍රිකානු ඉනිම ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම නම් එතරම් සුභදායක නොවූ බව සඳහන් කළ යුතුය. පන්දු රකින්නන් විසින් දක්වන ලද දුර්වලතාවය නිසා නවතා ගත හැකිව තිබූ ලකුණු 25 කට ආසන්න සංඛ්‍යාවක් දකුණු අප්‍රිකානුවන් විසින් උදුරාගත්හ. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ දසුන් ශානකට පමණක් පන්දුවාරයකට ලකුණු 7 කට වඩා වැඩියෙන් ලබා ගනිද්දී ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වුණු අකිල ධනංජය සහ වනිඳු හසරංගට පන්දුවාරයකට ලකුණු 6 කට වඩා වේගයක් රඳවා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. එහෙත් ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා පාලනයක් ඇතුව පන්දු යවමින් සංචාරක පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කළහ. දකුණු අප්‍රිකානු ඉනිම මෙල්ල කිරීම වෙනුවෙන් දසුන් ශානක භාවිතා කරන ලද පන්දු යවන්නන් 7 දෙනාගෙන් චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වූහ.

මලාන් තැන්පත් භූමිකාවකින් යුක්තව පන්දුවට පහර දෙද්දී ආක්‍රමණිකයාගේ භූමිකාව භාරගත් හෙන්රික් ක්ලාසන් පන්දු 27 කදී වේගවත් ලකුණු 43 ක් රැස් කළේය. ක්ලාස් එල්ල කරන ලද පහරක් මිඩ් විකට කළාපයේ පන්දු රැකී චාමික කරුණාරත්න විසින් පෙරැළී රැක ගැනීමට සමත්වූ අතර පන්දුව ඉක්මනින් භාර දීම සඳහා ඉදිරියෙන් පැමිණි වනිඳු හසරංගට වෙත යොමු කරවීය. එහෙත් වනිඳු පරදවා පන්දුව හතරේ සීමාව කරා ඇදී ගිය බැවින් හතරේ පහරට අමතරව ඒ වන විට පිතිකරුවන් සම්පූර්ණ කරන ලද ලකුණු 2 ද දකුණු අප්‍රිකානු පිලට පිරිනැමිණ. ඒ අනුව ලකුණු 2 කින් නතර වීමට තිබූ එම පහරෙන් ක්ලාස්ට ලකුණු 6 ක් හිමිවිය.

දෙපිළම 1-1 ක් ලෙස කරට කර සටනක සිටින බැවින් අවසන් මහ තරග ස්වරූපයක් ගෙන පැවැත්වෙන තෙවැනි අවසන් මහ තරගය ලබන 07 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30 ට ආරම්භ වේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest