slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2021
දකුණු අප්‍රිකාවට ලකුණු 204 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ එක්දින තරගාවලි ජයග්‍රහණයක් සොයා යන ගමනේ ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු අප්‍රිකාවටද අවසන් කඩඉම බවට පත්ව තිබෙන තෙවැනි එක්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් වන විටදී ලකුණු 203 කට නවතාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ අද (07 දා) සමත්වූහ. ආරම්භයේ සිටම දැඩි ග්‍රහණයකට ගණිමින් පන්දු යැවීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වුවත් දවා ගැනීමට සමත්වූයේ කඩුලු 9 ක් පමණි.

තරගය පැවැත්වෙන ප්‍රේමදාස තණතීරුවේදී ඉලක්කය විශාල වුවහොත් රාත්‍රි කාලයේ හඹා යෑම දැඩි අභියෝගයක් බව හොඳින්ම වටහාගෙන සිටින දකුණු අප්‍රිකාවට ලකුණු 204 ක් වැනි පහසු ඉලක්කයක් ලැබීම දකුණු අප්‍රිකානු පිලේ සතුටට හේතුවනු ඇත. ආරම්භයේ සිටම තියුණු දඟ කැවීමක් සහිතව පන්දු යැවූ කේෂව් මහරාජ් ප්‍රමුඛ ප්‍රතිවාදී පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 8 ම ලකුණු 166 කදී දවා ගනිමින් විටෙක ලකුණු 200 සීමාව ඉක්මවා ලීමද තරමක සැක සහිත තත්ත්වයටම ශ්‍රී ලංකාව අසරණ කර දැමීය.

අද තරගය පැවැත්වුණේද පළමු තරගය පැවැති තණතීරුවේ බැවින් පන්දුවේ දඟ කැවීම ද ඉතා තියුණු විය. ඒ ගැන පැහැදිළිව අවබෝධ කරගත් දකුණු අප්‍රිකානු නායකයා, ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමේදී වේග පන්දුවට පන්දුවාර 10 ක් පමණක් වෙන් කරමින් ඉතිරි පන්දුවාර 40 යැවීම සඳහා දඟ පන්දු යවන්නන්ගේ සහයෝගය ලබා ගත්තේය. එය මෙතෙක් දකුණු අප්‍රිකානු තරග ඉතිහාසයේ තරගයක වැඩිම පන්දු වාර සංඛ්‍යාව ව වූ පන්දුවාර 33 ඉක්මවා යන්නක් විය. ඒ අතරතුර දැවී ගිය කඩුලු 9 න් 8 ක්ම දඟ පන්දු යවන්නන් අතර බෙදී ගියහ.  

පන්දුවට පහර දීමේදී පිතිකරුවන් යැයි නම් දරූවන් දැවී ගිය ආකාරය කණගාටුදායක විය. එහෙත් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු චරිත් අසලංකට සහ පසුපෙළ ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් දුෂ්මන්ත චමීරට ධෛර්යවන්තව පන්දුවට පහර දීම නිසා පන්දුවාර 50 අවසන් වන තෙක්ම කඩුලු රැක ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය. මංගල තරගයට සහභාගිවුණු මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු සංඛ්‍යාව 32 කි. ජ්‍යෙෂ්ඨත්වය කරපින්නා ගනිමින් පන්දුවට පහර දුන් චමීර 49 වැනි පන්දුවාරයේදී පිටියෙන් ඉවතට යනවිට ලකුණු 29 ක්ද ඉනිම අවසන් වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගත් තීක්ෂණ ලකුණු 10 ක්ද ලබා සිටියේය.

අවසන් එක්දින තරග 5 දී සාර්ථකත්වයට පත්ව සිටින චරිත් අසලංක පිට පිටම තෙවැනි වතාවටත් අර්ධ ශතකයක් ලබා ගැනීමේ ආසන්නයට පැමිණියද කඩුල්ල පිටුපස සිට රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් ඔහුට ලකුණු 47 කදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ටබ්‍රේස් ශම්සි එවන ලද පන්දුවකට ඉදිරි පාදයට ගොස් පහරක් එල්ල කිරීමට ගන්නා ලද උත්සාහයේදී එය කඩුලු රැකි ක්ලාසන් විසින් රැක ගෙන ස්ටම්ප් කිරීමක්ද සිදුකළේය. ඒ වන විටත් අසලංකගේ පාදය සීමා ඉරෙන් ඉදිරියේ තිබුණද පිත්ත පසුකර යන විට පන්දුව පිත්තේ කොණක වැදී යෑම නිසා අසලංකගේ දැවී යෑම සටහන් වූයේ උඩ පන්දුවක් ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිමේ සමස්ථයක් ලෙස ගැනීමේදී නිලකුණු පන්දු 172 ක් යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී එක් ලකුණු බැගින් අවස්ථා 97 කදීද, දෙක බැගින් 18 වතාවකදීද ලබා ගනිද්දී ලකුණු 56 ක් හතරේ පහර වලින්ද ලබා ගැනීමට සත්කාරකයෝ සමත්වූහ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee