slc
logo
Home   |    News
සැප්තැම්බර් 10, 2021
පළමු තරගය ජයගත් දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණට

sinhala editor

By Chamila Karawita

මින් පෙර එකම විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට හෝ ක්‍රීඩා කොට නොමැති වුවද මංගල තරගයේදීම දකුණු අප්‍රිකානු විස්සයි-20 කණ්ඩායමට මෙහෙයවීමට තරම් වාසනාවන්ත වූ කේෂව් මහරාජ් ශ්‍රී ලංකාවට එරෙහිව අද (10 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 26 ක ජයග්‍රහණයක් කරා දකුණු අප්‍රිකානු පිළ රැගෙන ගියේය. මෙම ජයග්‍රහණය සනිටුහන්වීමත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය1-0 ක් ලෙස ද සංචාරකයෝ පෙරමුණ ගත්හ.

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 8.20 ක දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය සමඟ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභල දකුණු අප්‍රිකානු පන්දු යැවීම හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 135 ක් පමණි. පන්දු රැකීමේදී උඩ පන්දු 5 ක් ගිලිහී යෑමේ වරම ශ්‍රී ලංකා පිලට හිමි වුවද දිනේෂ් චන්දිමාල් හැරුණු කොට සැලකිය යුතු මට්ටමින් දායකත්වයක් දැක්වීමටසෙසු පිතිකරුවෝ අසමත්වූහ. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් තනිවම සටන් වැදුණු චන්දිමාල් පන්දු 54 කදී ලකුණු 66 ක් ලබා ගත්තේය.

එම හඹා යෑමේදී නම් දැරූ පිතිකරුවන් වන චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා ලකුණු 11 ක් ඇතුළත දැවී යෑම ශ්‍රී ලංකාවට දැවැන්ත පාඩුවක් විය. ඉනිම ආරම්භයේදී නොයේ විසින් පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කරමින් අවිෂ්ක ප්‍රනාන්දුව දවා ගැනීමට සමත්වීමෙන් අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට කේෂව් මහරාජ් සමත්වීම ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් ගෙන දුන්නේය.

කණ්ඩායමේ නවතම බලාපොරොත්තුව බවට පත්ව සිටින චරිත් අසලංකටද අද දිනයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි. ඒ සඳහා අසලංක පන්දු 19 කට මුහුණ දුන්නේය. පන්දු 13 ක පරතරයක් අසලංකගේ ඉනිමෙන් සටහන් වුවත් තමාගේ වගකීම වූ ලකුණු රැස් කිරීමේ කාර්යයේ නියැළී ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 34ක සම්බන්ධතාවයෙන් ලකුණු  28 කම හිමිකරුවා බවට පත්විය. ඒ සඳහා චන්දිමාල් මුහුණ දී තිබුණේ පන්දු 11 කට පමණි. ඉනිමේ හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි චන්දිමාල් පන්දු 54 කදී ලකුණු 66 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කර ගනිමිනි. එම ලකුණු සංඛ්‍යාව චන්දිමාල්ගේ විස්සයි-20 තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පිතිකරුවන් අතරින් චාමික කරුණාරත්න පමණක් ලකුණු 20 සීමාව (22) ඉක්මවා රැස් කර ගැනීමට සමත්වූවේය.

15 වැනි පන්දුවාරයේ සිට 18 වැනිපන්දුවාරය දක්වා වූ පන්දු 24 තුළ ලකුණු 53 ක් ලබා ගනිමින් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ඩේවිඩ් මිලර් සහ ඒඩ්න් මාක්‍රම් සමත් වූ අතර වාරයේ නොබියම පන්දුවට අතට ගත් දසුන් ශානක ලකුණු 48 ක් ලබා සිටි මාක්‍රම්ගේ කඩුල්ලද දවා ගනිමින් එම පන්දුවාරය ලකුණු 6 කට සීමා කළේය. දුෂ්මන්ත චමීර විසින් යවන ලද අවසන් පන්දුවාරයේදීද ඩේවිඩ් මිලර්ගේ කඩුල්ලද දවා ගැනීමට සමත්වීම නිසා පහසුවෙන්ම ලකුණු 175 සීමාවට යෑමට දකුණු අප්‍රිකානුවන්ට තිබූ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේදී රැස් කරන ලද ලකුණු 10 ත් සමඟ අවසන් පන්දුවාර 7 දී ලකුණු 76 ක් උදුරාගත්හ. හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග පන්දු 33 කදී ලකුණු 48 ක් ලද ඒඩ්න් මාක්‍රම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.  

විස්සයි-20 තරගාවලියටම එක්වූ කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ගොඩ නංවන ලද ලකුණු 73 ක වේගවත් ආරම්භයත් ලබා දුන්හ. කුවින්ටන් ඩි කොක්ගේ කඩුල්ලත් සමග සිය කඩුලු දඩයම ඇරැඹූ හසරංග හෙන්ඩ්‍රික්ස්ගේ කඩුල්ලද දවා ගත්තේය. විස්සයි-20 තරග අංශය යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 90 වැනියා ලෙසින් වරම් දිනා ගත් මහීෂ් තීක්ෂණ හෙන්ඩ්‍රික් ක්ලාසන්ගේ කඩුල්ල මංගල කඩුල්ල ලෙසින් දවා ගත් අතර ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 35 ක් රැස් කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

මොවුන් දෙදෙනාගේ එක්ව ලකුණු 14 ක් ඇතුළත දකුණු අප්‍රිකානු ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම 3 ම දැවී ගිය නමුත්, වගකීම කරට ගත් ඩේවිඩ් මිලර් සහ මාක්‍රම් පන්දු 35 කදී ලකුණු 65 ක් රැස් කරමින් දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකාවට එරෙහිව වූ ඉලක්කය ඉහළ දැමූහ. ප්‍රභල පහර පිටිය සිසාරා එල්ල කළ නමුත් වනිඳු හසරංගගේ පන්දු වලට මුහුණ දීමේදී මොවුන් දෙපළ හැකිතාක් පරෙස්සම් වීමට වග බලා ගත්හ. තරමක වේගවත් වූත් ගුවනට මුසු නොවුණුත් පන්දු වැළකින් සිය පන්දු යැවීමේ කර්තව්‍යයේ නිරත ලොව දක්ෂතම පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටින හසරංග ක්‍රියාත්මක කරන ලද පන්දු 24 න් 7 ක්ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය. 16 වැනි පන්දුවාරය යැවීමත් සමඟ තම පන්දුවාර 4 නිමා කළ පා දඟ පන්දු යවන්නා තම පන්දු යැවීම ලකුණු 23 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් කර ගත්තේය.

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

USD United States (US) dollar