slc
logo
Home   |    News
සැප්තැම්බර් 3, 2021
“ෆිට්නස් හදාගත්ත නිසා හැම දේම ලේසි වුණා” – අවිෂ්ක ප්‍රනාන්දු

sinhala editor

By Chamila Karawita

ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීමත් සමඟ තමන්ට වෙනදාට වඩා ක්‍රීඩා කිරීමේදී පහසුවක් දැනෙන බව පවසන ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු, දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ශතකය ලබා ගැනීම සඳහා බෙහෙවින් දායක වූ බව සඳහන් කර සිටියේය.

දෙරට අතර තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (02 දා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 118 ක් වාර්තා කළ අවිෂ්ක ශ්‍රී ලංකා පිලට ලකුණු 14 ක ජයග්‍රහණයක් කරා යෑමට මං පෙත් විවර කළ ප්‍රධාන ක්‍රීඩකයා බවට පත්වූවේය. ශාරීරික යෝග්‍යතාවය ඉහළ තලයකට රැගෙන ඒම දක්ෂතාවයන් සඳහා කෙතරම් බලපෑවේද යන්න මාධ්‍යවේදියකු විසින් තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී විමසීමේදී අවිෂ්ක ඉහත අදහස් පළ කර සිටියේය.

“ඔව් ඇත්තටම මගේ ෆිට්නස් එක නිසා සමහර තරග මට මිස් වුණා. තරගාවලි පවා මිස් වුණා. ඉතිං මම ඒකෙන් දෙයක් ලබාගෙන මගේ තියෙන ‘ෆිට්නස්’ එක මම වැඩි දියුණු කරගත්තා. ඒකෙන් මට ඇත්තටම දැන් මාර ලේසියි තරගයකදී පන්දුවට පහර දෙනකොට. ඒ වගේම පන්දු රැකීමත් දෙකම කරන්න ලේසියි. මම හිතන විදියට ඒකෙන් මගේ පිතිකරණයට විතරක් නොවෙයි හැම දේටම ලේසියි ” යැයි අවිෂ්ක පවසයි.

එක්දින ක්‍රිකට් තරග සඳහා දීර්ඝ කාලීන ආයෝජනයක් වශයෙන් අවිෂ්කව සලකනු ලැබුවද මෙම වසර ආරම්භයත් සමඟ පැවැති බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාරයන් සඳහා සහභාගිවීමේ අවස්ථාව අවිෂ්කට අහිමිවිය. ඒ ඔහුගේ දක්ෂතා වල අවප්‍රමාණයක් සිදුවීම නිසා නොව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසාර්ථක වීම හේතුවෙනි.

ඊට පෙර පැවැති තරගාවලියන්හිදී ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම නිසා ජාතික කණ්ඩායමට පැමිණීමට නම් සිය ශාරිරික යෝග්‍යතාවය ඔප්පු කර පෙන්විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථීර තීරණයකට එළැඹියේය. ඒ අතරතුරදී ශාරීරික යෝග්‍යතාවය මැන බැලීම සඳහා කිලෝ මීටර 2 ක දුරක් මිනිත්තු 8 කුත් තත්පර 35 ක් ඇතුළත දුවා අවසන් කළ යුතු වන යෝග්‍යතා පරීක්ෂණයක් හඳන්වා දුන් අතර එයින් සමත්වීමට අවිෂ්ක ඇතුළු තවත් ක්‍රීඩකයින් කීප දෙනෙක්ටම නොහැකි විය. කෙසේ වෙතත් කණ්ඩායමෙන් ඉවත්ව සිටි කාල සීමාව තුළදී  ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යෑම සඳහා අවිෂ්ක වැඩි වෙහෙසක් ගෙන කටයුතු කරමින් නැවතත් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගත්තේය.

ශෘරීරික යෝග්‍යතාවය සමත්වීමෙන් පසු ඔහු නැවතත් කණ්ඩායමට පැමිණියේ ඉකුත්දා නිමාවට පත් වුණු ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදීය. එතැන් පටන් පිතිකරුවකු ලෙස ඔහු ක්‍රීඩා කරන ලද ඉනිම ඉනිම හතරේදී ලකුණු 33, 50, 76 සහ 118 ක් වශයෙන් ලබා ගැනීමට සමත්ව සිටියි.

“මේ නිසා මගේ පිතිකරණය විතරක් නොවෙයි පන්දු රැකීමේ පවා දියුණුවක් දකිනවා” යැයි අවිෂ්ක පවසන අවිෂ්ක “පන්දු රැකීමේ අංශය වැඩිදියුණු කරගන්න මම විශේෂයෙන් මොනවත් කළේ නෑ, ෆිට්නස් එක හැදෙනකොට අනිත් දේවල් කරගන්නත් ලේසියි. මේ ඔක්කොම ෆිට්නක් එක නිසා”යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පන්දු 115 කට මුහුණ දුන් අවිෂ්කගේ ලකුණු 118 ක ඉනිම නිසා ශ්‍රී ලංකා පිලට පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවාලීමට හැකියාව ලැබිණ. ඉනිම ක්‍රියාත්මක වන අතරතුර ශක්තිමත් සම්බන්ධතාවයන් කීපයක් ගොඩ නැඟීමට අවිෂ්ක දායකත්වය ලබා දුන් අතර එහිදී හොඳම සම්බන්ධතාව බවට පත්වූයේ චරිත් අසලංක සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 97 ක සම්බන්ධතාව විය.

“අවුරුදු 15 16 ඉඳන්ම මමයි චරිතුයි එකට ක්‍රීඩා කරනවා. ඇත්තටම එයා ගහන විදියයි මම ගහන විදියයි දෙන්නට දෙන්න දන්නවා. ඉතිං එයා ගහනකොට මම සමහර දේවල් කියනවා. මම ගහනකොට එයා සමහර දේවල් කියනවා. ලොකු සම්බන්ධතාවයක් තියෙනවා පන්දුවට පහර දෙනකොටා. ඒක ඇත්තටම කණ්ඩායමටත් අපි දෙන්නටත් හරිම ලේසියි” යැයි චරිත් සමඟ පන්දුවට පහරදීම පිළිබඳව අවිෂ්ක අදහස් දක්වා සිටියේය.

වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් ඉනිමක නිරත වුණු අවිෂ්ක ආරම්භයේ සිටම අවම වශයෙන් 40 වැනි පන්දුවාරය තෙක් හෝ කඩුල්ලේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් පන්දුවට පහර දුන් බවද සඳහන් කර සිටියේය. “මම කල්පනා කළේ මම අවුට් වුණොත් ටිම් එක පල්ලෙහාට යනවා. ඉතිං ඒක හින්දයි මම පොඩ්ඩක් දිගට බැට් කළේ. කළින්ම විකට් දෙකක් ගියා. භානුකලා දෙන්නම අවුට් වුණා. ඊට පස්සේ ධනා (ධනංජය ද සිල්වා) අයියා අවුට් වුණා. ඉතිං මායි චරිතුයි බැලුවේ ඕවරස් 40 ක් 42 ක් යනකම් දිගට ගහමු කියලා. එතකොට අනිත් යටින් ඉන්න හයියෙන් ගහන අයිට ගොඩක් ලේසියි කියලා අපි දැනගෙන සිටියා” යැයි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබි අවිෂ්ක සඳහන් කර සිටියේය.

මේ අතර තරගාවලියේ පළමු තරගය ජය ගැනීම කණ්ඩායමක් ලෙස කෙතරම් වැදගත්ද යන්න පිළීබඳව කරන ලද විමසීමේදී, “තරගාවලියේ පළවැනි තරගයේ ජයග්‍රහණය තමයි වැදගත් වන්නේ. එක පැත්තක් දින්නොත් ඒ කණ්ඩායමට ලේසි වෙනවා තරගාවලියේ ඉතුරු තරග දෙකට ක්‍රීඩා කරන්න. ඇත්තටම අපිට මාර වාසියක් තියෙනවා ඉතුරු තරග දෙක දිනන්න. මේ මැච් එක අපි හොඳට කළා. ඒක නිසායි අපිට තරගය ජය ගැනීමට හැකියාව ලැබුණේ යැයි අවිෂ්ක පවසයි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest