slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2021
යොවුන් ක්‍රීඩකයින්ට ක්‍රිකට් උප සභාපතිවරයා අතීතය ගැන කියාදෙයි

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉලක්ක කර ගනිමින් තෝරා සංචිත ගත කර තිබෙන යොවුන් ක්‍රීඩකයින් 26 දෙනාට දිරි දීමනාවක් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ජාතික කණ්ඩායමේ දක්ෂතාවයන් වැඩි දියුණු කරලීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ විධායක සභාව අවධානය යොමු කොට තිබෙනවා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් නොපැකිළිව සිදුකරමින් සිටින වැඩ සටහන් මාලාවේ තවත් අංගයක් ලෙසින් මෙම මූල්‍ය ප්‍රධානය සඳහන් කළ හැක.

මෙම මුදල් ප්‍රධානය සැප්තැම්බර් මස 28 වැනිදා ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින කොළඹ සිනමන් ලේක් හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර එහිදී  ප්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තමන් ක්‍රීඩා කරන ලද කාල සීමාවේදී මෙවැනි පහසුකම් කිසිවක් නොලැබුණු බවත් වර්තමානයේදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ තලයට ගෙන යෑම වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැකි සෑම විටෙකම කටයුතු කරනු ලබන බව සඳහන් කර සිටියේය.

“මමත් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාත් මීට අවුරුදු 40 කට පෙර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරපු දෙන්නෙක්. අපි එදා ක්‍රීඩා කරනකොට මේ පහසුකම් කිසි දෙයක් තිබුණේ නෑ. නමුත් අද වෙනකොට සියළු දේවල් ක්‍රිකට් ආයතනයෙන් ලබා දෙනවා. 1981 දී අපි අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනකොට අද වගේ තරග තිබුණෙත් නෑ. එතකොට ටෙස්ට් තත්ත්වය ලැබිලා තිබුණෙත් නෑ. ටෙස්ට් වරම් ලැබුණට පස්සෙත් අපි ජාතික සංචිතවල හිටියා. ඒත් අවුරුද්දකටම තිබුණේ ටෙස්ට් තරග 2 යි. එතකොට ශ්‍රී ලංකා ‘ඒ’ කියලා එකක් තිබුණේ නෑ. ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම විතරයි. ඔයාලගේ කලමනාකරු විදියට කටයුතු කරන මහින්ද හලංගොඩ මහත්මයත්අපි එක්ක ඒ කාලේ ක්‍රීඩාවේ නිරත වුණා. ක්‍රීඩා සමාජයේ කවුරු හරි කෙනෙක් තමයි බූට්ස් දෙක අරන් දුන්නේ. බැට් එකක් ඉල්ල ගත්තේ සීනියර් ප්ලේයර් කෙනෙක්ගෙන්. ලණු වලින් පැඩ්ස් බැඳගෙන ගහපු කාලයක් තිබුණා. මම කියන්නේ ඒ තත්ත්වය උඩින් අපි ගමනක් ඇවිල්ලා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔයාලට ලබා දෙන්න ඕන හැම දේම ලබා දෙනවා. ඔයාලගේ දක්ෂතා තව තවත් ඉදිරියට ගැනීමේ අරමුණින් තමයි අපි මේ පහසුකම් සියල්ල ඔයාලට ලබා දෙන්නේ” යැයි වික්‍රමරත්න මහතා අහස් දක්වා සිටියේය.

උප සභාපතිවරයා එසේ අදහස් දක්වද්දී එවකට අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ප්‍රධාන මෙසයේද මහින්ද හලංගොඩ මහතා ක්‍රීඩකයින් සමඟද අසුන් ගෙන සිටීම විශේෂත්වයක් විය. ප්‍රධාන විධායක නිලධාරීවරයාට අමතරව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුද මෙම මූල්‍ය ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගිව සිටියහ.

රවීන් වික්‍රමරත්න මහතා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝනය කරන ලද 1981 වසරේදී ඈෂ්ලී ද සිල්වා මහතාට අමතරව 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග මෙන්ම උප නායක අරවින්ද ද සිල්වා යන මහත්වරුද උප සභාපතිවරයාගේ සමකාලීනයෝ වූහ. ඔවුන්ට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද රොමේෂ් රත්නායක, ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ චරිත් සේනානායක යන මහත්වරුද එම කණ්ඩායමේ සාමාජිකයෝ බවට පත්වූහ.

“ඔයාලා සියලු දෙනාම ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෝ. මොකද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තහම පාසල් 320 ක් විතර ඩිවිෂන් තුනේම ක්‍රිකට් ගහනවා. ඉතිං මේ පාසල් වලින් තෝරලා, බේරලා, පෙරළා ආපු කට්ටියක් තමයි ඔයාලා. එතකොට පළවැනියෙන්ම ඔයාලගේ දක්ෂතා ගැන ආඩම්බර වෙන්න ඕන. ඒ වගේම තමයි ඒ දක්ෂතා කොහොමද ඉස්සරහට ගෙනියන්නෙ කියන දේ ගැනත් ඔයාලා අවධානයේ තියාගන්න ඕන” යැයි ගෙවී ගිය දශක 2 කට ආසන්න කාලයේදී ක්‍රිකට් පරිපාලකයකු ලෙසින් කටයුතු කළ වික්‍රමරත්න මහතා ක්‍රීඩකයින් හමුවේ පවසා සිටියේය.

2012 වසරේදී වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙසින්ද වික්‍රමරත්න මහතා කටයුතු කළ අතර වර්තමාන කණ්ඩායම නියෝජනය කරනු ලබන ළහිරු කුමාර, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ඒ මහතා යටතේ ක්‍රීඩා කළහ.

“ක්‍රිකට් කියන්නේ ඕගොල්ලොන්ගේ වෘත්තීය කියලා හිතන්න. මේ ඉන්න තැනින් අපි කොහොමද උඩට අඩියක් තියෙන්නේ කියන දේ ගැන නිතරම හිතන්න. මේකෙන් පස්සේ ඩිවලොප්මන්ට් ස්කොඩ් එහෙකට එන්නේ කොහොමද…? ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන්නේ කොහොමද…? කියන දේ බොහෝම තදින් හිතට ගන්න. අවුරුදු 19 න් පහළ කණ්ඩායම කියන්නේ ඔයාලට ජාතික කණ්ඩායමේ දොර ඇරලා තියෙන්නේ පළවැනි කඩුල්ල. මේක තේරුම් ගත්තහම ඉස්සරහට යන්න පුලුවන්” යැයි සඳහන් කර සිටි වික්‍රමරත්න මහතා, “මම අද සංතෝෂ වෙනවා ක්‍රීඩකයින් හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔයාලට යමක් කරන්න පුලුවන් වෙච්ච එක ගැන. අපි ඔයාලව බලා ගන්නවා. මේ මුදල් ක්‍රිකට් වලින් ඉදිරියට යන්න පුලුවන් දේකට යොදවන්න. ඒ වගේම වසරකට ක්‍රීඩකයින් 85 දෙනෙක් අපි කොන්ත්‍රාත් ගත කරලා තියෙනවා.  ඕගොල්ලොන්ගේ අතට සල්ලි එන ක්‍රමයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් හදලා තියෙනවා” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

“ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණාම විශේෂයෙන්ම විනයක් ඇතුව ක්‍රීඩා කරන්න ඕන. ඒක ක්‍රීඩා පිටිය ඇතුළෙතදීත් පිටතදීත් තියා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලා ඔයාලගේ ඉස්කෝලෙ ඉන්න අනිත් ළමයින්ට ආදර්ශමත් විදියට බලන විදියට හැසිරෙන්න. එහෙම වුණාම ඉබේම ලීඩර් ශිප් එකක් කියන දේට පුරුදු වෙයි. ඉතිං ඒක නිසා ඔයාලට සුභ පතනවා. මේකෙන් අවසානයේ 15 ක් තෝරලා ලෝක කුසලානය සඳහා සහභාගිවෙයි. ඒ කොහොම වුණත් මේ ඉන්න 26 දෙනාම දක්ෂ ළමයි.මම සියලු දෙනාටම සුභ පතනවා” යැයි වික්‍රමරත්න මහතා අවසන් වරට සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් සහ පළාතක්ම ආවරණය වන පරිදි වූ දක්ෂතාවයන්වලින් සපිරි යොවුන් ක්‍රීඩකයින් 75 දෙනෙකු වෙනුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ පවත්වන ලද නේවාසික පුහුණු කඳවුරේදී දක්වන ලද දක්ෂතා සැලකිල්ලටගනිමින් කනිෂ්ට තේරීම් කමිටුවේ සාමාජිකයින් විසින් මෙම සංචිතය තෝරාගනු ලැබීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි පිළිබඳව අවධානය යොමු කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෝරා ගනු ලැබූ සංචිතය සඳහා දින 22 ක පුහුණු කඳවුරක් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පවත්වනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් පිල ලබන 07 වැනිදා බංග්ලාදේශයට එරෙහි තරගාවලිය සඳහා යළිත් පුහුණුවීම් අරඹනු ඇත.

Active filters

Recent Posts

  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]
  • කුසල් ජනිත්ගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති ශ්‍රී ලංකා පොලීසිය සහ නුගේගොඩ අතර තරගයේදී පොලීසියේ කුසල් ජනිත් පෙරේරා පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee