slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2021
අවුරුදු 19 න් පහළ පිලට කාර්ය බහුල සමයක්

sinhala editor

ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලියට පෙර යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දීමේ අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 07 වැනිදා ආරම්භ වේ.

එක්දින තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ යොවුන් පිල ඔක්තෝම්බර් 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, තරගාවලිය ජෛව බුබුලු පරිසරයකට යටත්ව පැවැත්වෙනු ඇත. රටේ පවතින නීරෝධායන ඇඳිරි නීතියත් පවතින වර්ෂාවත් හේතුවෙන් තරග පවත්වන ක්‍රීඩාංගණ මොනවාද යන්න අවසන් තීරණයකට පැමිණ නොමැත.

“කලකට පසු අපේ යොවුන් කණ්ඩායමට ජාත්‍යන්තර තරගාවලි අත්දැකීමක් ලබා ගැනීමට මේක හොඳ අවස්ථාවක්. එළැඹෙණ 2022 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හරි සංයුතිය සොයා ගැනීමට මේ තරගාවලිය අපිට වැදගත් වෙනවා” යැයි ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට එක්දින තරගයකට සහභාගිව ඇත්තේ 2020 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව බෙනෝනිහි පැවැති තරගයටය. එම තරගාවලියෙන් පසු මුලු ලෝකයටම කොවිඩ් වෛසරයේ බලපෑම එල්ල වූ හෙයින් යොවුන් තරග පමණක් නොව ජාත්‍යන්තර තරග පිටියද තාවකාලිකව නතර කර දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයට සිදුවිය. ඒ අනුව බලන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ මාස 20 කට පසුව වේ.

යොවුන් තරග පිටියට විරාමයක් ලැබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් මාස කීපයේදීම යොවුන් කණ්ඩායමේ දක්ෂතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් විවිධ පුහුණු වැඩ සටහන් රැසක් සංවිධානය කිරීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතා සපිරි යොවුන් ක්‍රීඩකයින් 75 ක් තෝරා ගනිමින් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්පුවන ලද පුහුණු කඳවුර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබීය. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව නේවාසිකව පවත්වන ලද එම වැඩ සටහනේදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් තරග අවස්ථා ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.

එම වැඩසටහනින් පසු නැවතත් බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ඇතුළු ඉදිරියේ පැවැත්වෙන තරග සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම මේ වන විට කොළඹදී නේවාසික පුහුණු වැඩසටහනකට සහභාගිවෙමින් සිටියි.  

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ, භෞත චිකිත්සකවරයා ලෙසද බුද්ධික හේරත් අභ්‍යාසක ලෙසද කටයුතු කරති.

දිනයතරගයස්ථානය
ඔක්තෝබර් 15පළමු එක්දින තරගයතහවුරු කර නොමැත
ඔක්තෝබර් 18දෙවැනි එක්දින තරගයතහවුරු කර නොමැත
ඔක්තෝබර් 20තෙවැනි එක්දින තරගයතහවුරු කර නොමැත
ඔක්තෝබර් 23සිව්වැනි එක්දින තරගයතහවුරු කර නොමැත
ඔක්තෝබර් 25පස්වැනි එක්දින තරගයතහවුරු කර නොමැත

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee