slc
Home   |    News
ඔක්තෝබර් 31, 2021
පාකිස්තානය හමුවේ ඇෆ්ගනිස්ථානය පසුබසියි

sinhala editor

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති උණුසුම් තරගයකින් පසුව පාකිස්තානය කඩුලු පහකින් තරගය ජයගත්තේ පන්දු වාරයක් ඉතිරිව තිබියදීය.

ඇෆ්ගනිස්ථානය මුලින් පන්දුවට පහරදී කඩුලු හයකට ලබාගත් ලකුණු 147ට පිළිතුරු ලෙස පාකිස්තානය පන්දු වාර 19ක් අවසානයේ කඩුලු පහකට ලකුණු 148ක් ලබා ගනිමින් මේ ජයග්‍රහණය හිමිකරගත්තේය.

මේ තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවැති අතර පාකිස්තාන ඉනිමේ අවසාන භාගයේ අසිෆ් අලි පන්දු 7කට මුහුණදී හයේ පහර හතරක් සමඟ නොදැවී ලකුණු 25ක් රැස් කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථීර කළේය. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේද අසිෆ් අලිය.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායක බාබර් අසාම් පන්දු 47කදී හතරේ හතරක් සමඟ ලකුනු 51ක්ද ෆකාර් සමාන් පන්දු 25කදී හයේ පහර දෙකක් හතරේ පහර දෙකක් සමඟ ලකුණු 30ක් ද රැස්කළහ.

ඇෆ්ගනිස්ථානය කාසියේ වාසි දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත් පන්දු වාර 5.1ක් වන විට ඔවුනගේ ප්‍රබලම පිතිකරුවන් සිව්දෙනෙකුම දැවීගියේ ලකුණු 39ක් පමණක් ලබා සිටියදීය.

කණ්ඩායමේ හොඳම සබඳතාවය වූ නායක මොහොමඩ් නබී (නොදැවී 35) සහ ගුල්බඩින් නයිබ් (නොදැවී 35) හත්වන කඩුල්ලට පන්දු වාර 7.1කදී නොදැවී ලකුණු 71ක සබඳතාවයක් තබා ගනිමින් සටනක් දියහැකි තත්ත්වයකට තම කණ්ඩායම ප්‍රබල මට්ටමකට ගෙන ඒමට මුල්වූහ.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පිතිකරුවන් අතර කැපීපෙනුණු නායක මොහොමඩ් නබී පන්දු 32කදී හතරේ පහරක් සමඟ නොදැවී 35ක්ද ගුල්බඩින් නයිම් පන්දු 25කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 35ක්ද නජිබුල්ලා සඩ්රන් ලකුණු 22ක්ද ලබාගත්හ.

ලකුණු විස්තරය

ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20කදී කඩුලු 6ට 147 – (මොහොමඩ් නබී නොදැවී 35, ගුල්බඩින් නයිබ් 35, නජිබුල්ලා සඩ්රන් 22, කරිම් ජනට් 15, ඉමාඩ් වසිම් 25/2)

පාකිස්තානය පන්දු වාර 19කදී කඩුලු 5ට 148යි – (බාබර් අසාම් 51, ෆකාර් සමාන් 30, අසිෆ් අලි නොදැවී 25, රෂිඩ් ඛාන් 26/2යි)

අවසාන පන්දුවේදී කොදෙව් කණ්ඩායම බංග්ලාදේශය පරාජය කරයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය අතර සාජා ක්‍රීඩාංගණයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරගයකින් පසුව කොදෙව් කණ්ඩායම තරගයේ අවසාන පන්දුවේදී ජයගත්තේ ලකුණු තුනකිනි.

ඇන්ඩෘ රසල් එවු අවසාන පන්දුවට මුහුණ දුන් බංග්ලාදේශ නායකයාට (මහ්මදුල්ලා) ජයග්‍රහණය සඳහා ලකුණු හතරක් අවශ්‍ය වුවද ඔහුට එම පන්දුවෙන් එකම ලකුණක් හෝ ලබා ගතහැකි නොවීය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 142ට පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලබාගත්තේ ලකුණු 139කි. කොදෙව් කණ්ඩායම අසීරු තත්ත්වයක සිටියදී පන්දු 22කදී හයේ පහර හතරක් හතරේ පහරක් සමඟ ලකුණු 40ක් රැස්කළ නිකලස් පුරාන් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

බංග්ලාදේශය ලකුණු 143ක ජයග්‍රහණයක් සඳහා පන්දුවට පහර දෙද්දී ලිට්න් දාස් සහ නායක මහ්මදුල්ලා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වූවත් කණ්ඩායම ජයග්‍රහණ ඉලක්කය පසුකර වීමට ඔවුනගේ දායකත්වය ප්‍රමාණවත් නොවීය. බංග්ලාදේශයේ හොඳම සබඳතාවයන් වූයේ පස්වන කඩුල්ලට දාස් සහ මහ්මදුල්ලා පන්දු වාර 5.3කදී එක්කළ ලකුණු 40ත් තෙවන කඩුල්ලට ලිට්න්දාස් සහ සෞම්‍ය සාකර් පන්දුවාර පහකදී එක්කළ ලකුණු 31ත්ය. දාස්ගේ සහ මහ්මදුල්ලාගේ සබඳතාවය 19වන පන්දු වාරයේ අවසාන පන්දුවේදී නිමවූයේ බංග්ලාදේශය ලකුණු 130ක් ලබාසිටියදීය.

ලිට්න්දාස් පන්දු 43කදී හතරේ හතරක් සමඟ ලකුණු 44ක්ද මහ්මදුල්ලා පන්දු 24කදී හයේ පහරක් හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 31ක්ද මොහොමඩ් නයිම් 17ක් සහ සෞම්‍ය සාකර් 17ක්ද රැස්කරමින් බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් කැපී පෙනුණි.

බංග්ලාදේශය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම කොදෙව් කණ්ඩායමට පැවැරූ අතර ඔවුන් පන්දු වාර 6.4කදී ලකුණු 32කට කඩුලු තුනක් දැවී පසුවූයේ අසීරු තත්ත්වයකය.

සිව්වන කඩුල්ලට රොස්ටන් චේස් සහ කිරන් පොලාඩ් පන්දු වාර හයකදී ලකුණු 30ක් ලබාගැනීමෙන් පසුව පස්වන කඩුල්ලට රොස්ටන් චේස් සහ නිකලස් පුරාන් පන්දු වාර 5.3කදී දැවැන්ත ප්‍රහාරයකින් ලකුණු 57ක් රැස්කිරීමෙන් ඔවුනට යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදාවිණි.

කොදෙව් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු නිකලස් පුරාන් පන්දු 22කදී හයේ පහර හතරක් හතරේ පහරක් සමඟ ලකුණු 40ක්ද රොස්ටන් චේස් පන්දු 46කදී හතරේ දෙකක් සමඟ ලකුණු 39ක්ද ජේසන් හෝල්ඩර් පන්දු පහකදී හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 15ක්ද ලබා සිටියහ. මෙහෙදි හසන්, මුෂ්ටෆිෂුර් රහ්මන් සහ සොරිෆුල් ඉස්ලාම් කඩුලු දෙක බැගින් දවාලූහ.

ලකුණු විස්තරය

බටහිර ඉන්දීය කොදෙව් දූපත් පන්දු වාර 20දී කඩුලු 7ට 142 – (නිකලස් පුරාන් 40, රොස්ටන් චේස් 39, ජේසන් හෝල්ඩර් 15, කිරන් පොලොඩ් නොදැවී 14, මෙහෙදි හසන් 27/2, සොරිෆුල් ඉස්ලාම් 20/2, මුෂ්ටෆිෂුර් රහ්මන් 43/2)

බංග්ලාදේශය පන්දු වාර 20කදී කඩුලු 5ක් දැවී 139යි – (ලිට්න් දාස් 44, මහ්මදුල්ලා නොදැවී 31, මොහමඩ් නයිම් 17, සෞම්‍ය සාකර් 17, ජේසන් හෝල්ඩර් 22/1, රවි රම්පෝල් 25/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest