slc
logo
Home   |    News
ඔක්තෝබර් 21, 2021
මතුපිටට නොපෙනුණු පීඩනය ගැන තීක්ෂණ කතා කරයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව ලොකුම පීඩනයෙන් මිදී තිබේ. ඒ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්වීම හරහාය. ප්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තරග වැදීමට නියමිතව තිබුණේ එතරම් ජාත්‍යන්තරයේ අත්දැකීම් නැති අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාවට එරෙහිවය. බැලූ බැල්මට එය පහසු කඩඉමක් වුවත් සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කිරීම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දැඩි පීඩනයකි. ඒ බව මතුපිටටට නොපෙණුනද පීඩනය ඇත්තේ ක්‍රීඩකයින් තුළය.

“ඇත්තටම කියනවා නම් මේ තරගාවලිය ක්‍රීඩා කරන්න එනකොට අපිට ලොකු පීඩනයක් තිබුණා. මොකද සුදුසුකම් ලැබීමේ තරග වටයකට ක්‍රීඩා කරන්න සිදුවෙල තිබුණ නිසා. කොච්චර හොඳ කණ්ඩායමක් වුණත් අවසන් කාලයේදී කණ්ඩායමක් විදියට දක්වපු පසුබෑමත් එක්ක අපිට සුදුසුකම් ලැබීමේ තරගවලට ක්‍රීඩා කරන්න සිදුවුණා. ඒත් අපි, ක්‍රීඩකයින් තමන් ගැන විහ්වාස කරලා, උපරිමය කණ්ඩායමට ලබා දීපු නිසා පහසුවෙන්ම අවසන් කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට එන්න පුලුවන් වුණා” යැයි තීරණාත්මක අයර්ලන්තයට එරෙහි පැවැති තරගයේ ලද ජයග්‍රහණයෙන් පසු මහීෂ් තීක්ෂණ සඳහන් කර සිටියේය.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී අයර්ලන්තයට එරෙහිව ඊයේ (20 දා) ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 70 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්සමඟ අවසන් කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ඒ එම තරග වටයේ නෙදර්ලන්තයට එරෙහි තරගය හෙට (ඔක්තෝබර් 22 වැනිදා) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබියදීය.

තීක්ෂණගේ අදහස අනුව සුදුසුකම් ලැබීමේ තරග වටයකට ක්‍රීඩා කිරීම දැඩි පීඩනයකි. එම අභියෝගය කරපින්නාගෙන තරග වැදි ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ප්‍රධාන කණ්ඩායම් 12 දෙනාගේ තරග වටයට තේරී පත්වූ පළමු කණ්ඩායම බවටද පත්විය. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව කිට්ටු කිරීමට ජගතෙකු නැත. 3.165 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වද්දී ‘ඒ’ කාණ්ඩයේ අනෙක් ටෙස්ට් වරම් හිමි රට වන අයර්ලන්තය පවා දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ සෘණ සාමාන්‍යයක් හෙවත් -1.010 රඳවා ගනිමිනි. එබැවින් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා පිලට අභියෝගයක් දීමට නෙදර්ලන්තයට එරෙහි තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ගැටලුවක් නොමැත.

නෙදර්ලන්තය යනු මෙතෙක් තරගාවලියේ එකම තරගයක් හෝ ජය ගැනීමට අපොහොසත්ව සිටින කණ්ඩායමයි. එහෙත් විස්සයි-20 තරග රටාවේදී වඩාත් වැදගත් සාධකය වන්නේ තරගය තුළ හැකි පමණින් වැරදි අඩුවෙන් සිදු කිරීම වේ.

තීක්ෂණ සඳහන් කළ ආකාරයට අවසන් කාල සීමාවේදී කණ්ඩායමක් විදියට පසුබෑමට ශ්‍රී ලංකා පිලට ප්‍රධානම හේතු කාරකය වූයේ ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීමය. තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් නොමැතිව එය අභියෝගයට ලක් කිරීමට පන්දු යවන්නන්ට අවස්ථාවක් නොමැත. එහෙත් ඊයේ තරගයේදී සිදුවූයේ ඊට වෙනස් ම දෙයකි. ලකුණු 08 කට මුල් කඩුලු 3ම බිඳ වැටුණද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170 සීමාවට එහා ලකුණු රැස් කිරීමට සමත්වීමයි.

කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ අවිෂ්ක ප්‍රනාන්දු අයර්ලන්තයට එරෙහි තරගයේදී මුලු ලකුණු සංඛ්‍යාව 8 ක්ව තිබියදී දැවී ගියේ මෙරට විස්සයි-20 තරග ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකදී මුල් පෙළ කඩුලු 3 දැවී යෑම සටහන් කරමිනි. එවන් තත්ත්වයකී ලොව කිසිදු කණ්ඩායමක් ලකුණු 150 සීමාව ඉක්මවා නොමැත. ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ 2010 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී රැස් කරන ලද ලකුණු 147 වේ.

තීක්ෂණ සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකාව ගොඩ යන ලද්දේ උපක්‍රමයක් භාවිතයෙනි. මුල් කඩුලු 3 ලකුණු 8 දී බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකා පිල උපක්‍රමයක් ලෙස අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීම සඳහා වනිඳු හසරංගව යොදා ගත්තේය. සාමාන්‍යයෙන් එම ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙන්නේ භානුක රාජපක්ෂ වුවත් ඔහු වෙනුවට පිටියට පැමිණි වනිඳු ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දැමීය. පන්දු 47 කට මුහුණ දුන් වනිඳු හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමඟින් වේගවත් ලකුණු 71 ක් රැස් කරන ලද්දේ කඩා වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම නව බලාපොරොත්තුවක් එක් කරමිනි.

“වනිඳු අයියා තමයි අපිට ඉන්න ට්‍රම්ප් (තුරුම්පුව) එක. එයාට ඕනෑම තැනක පන්දුවට පහර දෙන්න පුලුවන්. මේ තරගයේදී අපි එයාව ටිකක් කළින් යවලා බැලුවා. ඒ වෙලාවේ එයා වැඩේ හරියටම කරලා පෙන්නුවා. කඩුලු 3 ක් වැටිලා තියෙද්දී වනිඳු ඇවිල්ලා ගහපු ඒ ගේම් එක නිසා තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා” යි තීක්ෂන පවසා සිටියි.

වනිඳු සමඟ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කඩුල්ලේ රැඳී සිටියද ඔහු වනිඳගේ පිතිකරණයට ඉඩ දී සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය. එය අපේක්ෂා නොකළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට බෙහෙවින් ඉවහල් විය. මේ සියල්ල පුහුණු උපදේශකවරයකු ලෙස කණ්ඩායම සමඟ රැඳී සිටින මහේල ජයවර්ධනගේ සංකල්පයන් හරහා සිදුව තිබේ.

“මහේල අයියා කණ්ඩායමත් එක්ක දිගටම ඉන්නවාට අපි කැමැතියි. ඒත් මං හිතන්නේ නෑ එයාට දිගටම ඉන්න පුලුවන් වෙයි කියලා. එයා ආවම කණ්ඩායම තුළ ලොකු ධනාත්මක බවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හදන එක තමයි එයා වැඩියෙම කරන්නේ. කවුරු පන්දුවට පහර දෙන්න ගියත්, කවුරු පන්දු යවන්න ගියත් එයා පැහැදිළි සැලැස්මක් දෙනවා. මේ වෙලාවේ මේකයි වෙන්න ඕන කියලා. ඔයාලත් දකින්න ඇති. ක්‍රීඩා කරනකොට ඒක අපිට ලොකු පහසුවක්” යි මහේලගෙන් කණ්ඩායමට ඉටුවන සේවය ගැන තීක්ෂණ පැවැසීය.

මෙතෙක් පැවැති තරග 2 දී කඩුලු 6 ක් දවාගෙන සිටින තීක්ෂණ මෙතෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරග වල වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ජාතික තලයට පැමිණීමට සමත් දකුණත් දඟ පන්දු යවන්නා හිටපු දඟ පන්දු යවන්නකු වන යුද හමුදාවේම අජන්න්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීම හා සමානව පන්දු යවයි. “යුදහමුදා අවුරුදු 23 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරනකොට මගේ පුහුණුකරු වුණේ අජන්ත මෙන්ඩිස් සර්. එයා හැව වෙලේම මගේ පිටිපස්සෙන් ඉඳන් එයාගේ ජීවිතේ තිබුණු හැම අත්දැකීමක්ම මගෙත් එක්ක බෙදා ගත්තා. අදටත් පන්දු යවනකොට වැරැද්දක් වෙනකොට මම එයාට දුරකතනයෙන් කතා කරලා ඒ වරද හදාගන්න හැටි අහගන්නවා. ඔහු මට ලොකු ශක්තියක්” යි තීක්ෂණ කියයි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා යුද හමුදාව හරහා ජාතික තලයට එන ක්‍රීඩකයින්ගේ වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා මෙන්ම පෙර වඩා තරගාවලිවල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටද යුද හමුදා කණ්ඩායම සමත්වීම කැපී පෙනෙයි. ඔවුන් අවසන් වරට පැවැති දේශීය පන්දුවාර විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට මෙන්ම එක්දින තරගාවලියේදී අවසන් කණ්ඩායම් 4 ට අතරට පැමිණීමට ද සමත්විය.

යුද හමුදාවේ අන්තර් රෙජිමේන්තු තරගාවලියේ සිට ප්‍රමුඛ පෙළ තරගාවලිය දක්වා ස්ථාවර ක්‍රිකට් පද්ධතියක් සකස් කොට තිබීම එම සාර්ථකත්වයට හේතුවී තිබේ. තීක්ෂණ සඳහන් කරන ආකාරයට මේ වන විට යුද හමුදාවේ පමණක් ක්‍රීඩකයින් 150 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින අතර ඒ සෑම තරගාවලියක්ම ඉතාම තරගකාරීත්වයකින් යුත් බව සඳහන් කර සිටින්නේය. “ඇත්තටම අන්තර් රෙජිමේන්තු තරගාවලියේ හොඳට කරපු නිසා තමයි මට වුණත් එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වුණේ. ඒ වගේම ජාතික කණ්ඩායමට එන්නත් යුද හමුදානේ මට ලොකු සහයෝගයක් ලැබුණා”යි තීක්ෂණ පවසයි.

යුද හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය සහ අනෙක් ප්‍රතිපාදන ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිරන්තයෙන්ම නොපැකිළිවම කටයුතු කරයි.  

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee