slc
logo
Home   |    News
ඔක්තෝබර් 7, 2021
පහසු ජයකින් ශ්‍රී ලංකාව ගමන් අරඹයි

sinhala editor

ඉදිරි පෙළ කඩුලු 3 ම ලකුණු 23 ක් ඇතුළත බිඳ වැටුණද අවිෂ්ක ප්‍රනාන්දු සහ නායක දසුන් ශානක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 111 ක නොබිඳුණු සම්බන්ධතාවයත් ළහිරු කුමාර ඇතුළු වේග පන්දු යවන්නන් විසින් කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වීමත් හේතුවෙන් ඕමානයට එරෙහිව එරට ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවැති පළමු නිල නොවන විස්සයි-20 තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (ඔක්තෝබර් 07 වැනිදා) සමත්විය.

ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමේ පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන් වීමට මත්තෙන්ම කඩුලු 2 බැගින් දවා ගත් ළහිරු කුමාර සහ නුවන් ප්‍රදීප් සත්කාරකයින් නොසිතූ ආගාධයකට ඇද දැමූහ. මුලු ලකුණු සංඛ්‍යාව 23 ක්ව සටහන් වන විට පළමු පිතිකරුවන් සිව් දෙනා දැවී යෑම නිසා පහර කරා යෑමට වඩා ඔවුන්ගේ අවධානය යොමු වූයේ වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමටය.

ඒ අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් පන්දුවාර 5 එළැඹීමට මත්තෙන් නිලකුණු පන්දු 49 ක් ඕමාන් පිතිකරුවන්ට එරෙහිව සටහන් කර ගත්හ. සමස්ථ තරගයේ හතරෙන් තුනකදීම වැඩි ග්‍රහණයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා අවසන් පන්දු 30 තුළදී ඕමාන් ඉලක්කය පන්දුවාරයකට ලකුණු 15 ක් හෙවත් ලකුණු 75 ක් ලබාගත යුතු විය. අවසන් පන්දුවාර 2 දී ලකුණු 20 ක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුවත් ඒ අතරතුරදී තවත් කඩුලු 2 ක් දවා ගත් ළහිරු කුමාර ශ්‍රී ලංකා ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත්තවිය. ළහිරු තම පන්දුවාර 4 දී ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තේය.

පළමු පන්දුවාර 2 යැවීමෙන් පසු නුවන් ප්‍රදීප් පිටියෙන් ඉවත්වූ නමුත් ළහිරුට එක්වූ චාමික තවත් කඩුලු 2 ක් දවා ගනිමින් ඕමාන් ඉනිමේ දැවී ගිය කඩුලු 8 ම වේග පන්දු යවන්නන්ගේ නම් ඉදිරියෙන් සටහන් කිරීමට සහයෝගයක් ලබා දුන්නේය. වේග පන්දු යවන්නන් කඩුලු දවා ගන්නා අතරතුරදී ඉනිමේ අවසන් භාගයේදී වේගයෙන් ලකුණු රැස් කළ මොහොමඩ් නදීම් සහ නසීම් කෞෂි පන්දු 26 කදී ලකුණු 46 ක් එක් කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. වේගවත් පිතිහරඹයක නිරත වූ කෞෂි පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 40 ක් රැස් කරගත්තේය.

නියමිත පන්දුවාර 20 අවසනදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 162 ක් ලෙසින් දිස් වුවද පළමු කඩුලු 2 බිඳ වැටුණේ දෙවැනි පන්දුවාරයේදීය. ඒ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් පිට පිට පන්දු දෙකකදී දැවී යෑම හේතුවෙනි. ආරම්භක පිතිකරුවකු ලෙසින් පිටියට පිවිසි පැතුම් නිස්සංක ද ලකුණු 8 කදී වගකීම් විරහිත පහරක් එල්ල කරමින් කඩුල්ල අහිමිකර ගන්නා විට තරගයේ පාලනය මුලු මනින්ම ඕමාන් පන්දු යවන්නන් සසතුවිය.

එහෙත් මැද පෙළ පිතිකරුවකු ලෙසින් පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු ආරම්භය බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ලකුණින් ලකුණු ගොඩනංවන ලද්දේ කිසිදු කලබලයකින් තොරවය. එහිදී පළමු ලකුණු 33 රැස් කර ගැනීම සඳහා පන්දු 36 ක් වැය කළ අවිෂ්ක අවසන් පන්දුවාර 7 දී සිය ප්‍රහාරාත්මක පිති හරඹය දියත් කළේය. ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කලමනාකාරීත්වය අපේක්ෂා කරන ලද වෙනස බවට පත්වූ මැද පෙළ පිතිකරුවකුගේ සේවයේ වගකීම අකුරටම ඉටු කළ දකුණත් පිතිකරුවා පන්දුවාර 20 අවසන් වන විට සිය ඉනිම නොබිඳී පවත්වා ගත්තේ පන්දු 59 කදී ලකුණු 83 ක් ලබා ගනිමිනි. ඊට එල්ල කරන ලද දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඔහුට වඩා වැඩි වේගයකින් ලකුණු ලබාගැනීමේ වේගයක්න්දු රඳවා ගනිමින් පන්වදුවට පහර දුන් නායක දසුන් ශානක අවසන් පන්දුවේ එල්ල කරන ලද හතරේ පහරත් සමඟ අර්ධ ශතකය සටහන් කර ගත්තේය. අර්ධ ශතකය ලබා ගැනීම සනිටුහන් කිරීම වස් දසුන් සිය පිත්ත ඉහළට ඔසවන විට හයේ පහර 5 ක් සහ තවත් හතරේ පහර 2 ක් ඉනිමට ඇතුළත් කර තිබුණි. ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට දසුන්ගේ ඉනිම සටහන් වූයේ පන්දු 24 කදී ලකුණු 51 ක් ලෙසිනි.

ඉදිරි පෙළ කඩුලු 4 ක් දවා ගනිමින් පිටියේ  වැඩි විශ්වාසයක් ගොඩ නඟාගෙන සිටි ඕමාන පන්දු යවන්නන්ව තඹේකට මායිම් නොකළ දකුණත් පිතිකරුවන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳණු ලකුණු 111 ක සම්බන්ධතාව සඳහා පන්දු 56 ක් පමණක් වැය කළහ.

දෙරට අතර පැවැත්වෙන මීළඟ විස්සයි-20 නිල නොවන තරගය ඔක්තෝබර් 09 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6 ට ආරම්භ වනු ඇත.  

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee