slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2021
පළමු දිනයේදීම පිතිකරුවෝ වැඩි වාසි ගෙනෙති

sinhala editor

Chamila Karawita reporting from Galle

මාස 8 කට පසුව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (21 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදීත් යළි ලකුණු අතර පැමිණීමට දිමුත් කරුණාරත්න සමත්වීම නිසා තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හරවා ගැනීමට හැකියාව ලැබිණ. තෙවැනි දිනය වන විට කඩතොලුවීමට ඉඩ ඇතැයි අනුමාන කෙරෙන ගාල්ල තණතීරුවේදී මන්දාලෝකය නිසා පළමු දිනය ක්‍රීඩාව අහවර කරන විට කඩුලු 3 කට ලකුණු 267 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකිවීම නිසා සත්කාරකයින්ට සැලකිය යුතු වාසියක් ලැබී තිබේ.

අවසන් ඉනිම 4 දී ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක 2 ක් ලබා ගනිමින් ලකුණු අතර සිටි කරුණාරත්න මාස 8 කට පෙර නවත්වපු තැනින් යළි ආරම්භ කිරීම කැපී පෙනෙන්නක් විය. ශ්‍රී ලංකා ඉනිමේ ලොකුම විශ්වාසය බවට පත් වුණු දිමුත්ගේ වටිනා ඉනිම ඔහුගේ පෞද්ගලික වාර්තා අතරට එක් වූයේ ටෙස්ට් තරග දිවියේ 13 වැනි ශතකය ලෙසිනි.

දිනය පුරා පිටියේ රැඳුණු වමත් පිතිකරුවා පන්දුවාර 2 ක් යැවීමට නියමිතව තිබියදී තරගය අහවර කරන විට පන්දු 265 කට මුහුණ දෙමින් ලකුණු 132 ක් රැස් කරගෙන සිටියේය. මනරම් ඩ්‍රයිව් පහර, කට් පහර සහ පුල් පහර වලින් සමන්විත වුණු දිමුත්ගේ ඉනිම වෙනුවෙන් එල්ල වුණු හතරේ පහර සංඛ්‍යාව 13 කි. තරගයේ පාලනය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා බෙහෙවින් දායක වුණු දිමුත්ගේ ඉනිමට අමතරව ආරම්භක පිතකිරු පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා රැස් කරන ලද අර්ධ ශතකද ප්‍රයෝජනවත් විය.

ටෙස්ට් තරග රටාවට කිසිසේත් නුසුදුසු පහරක් එල්ල කිරීමට යෑමෙන් පැතුම් නිස්සංක ලකුණු 56 ක් කඩුල්ල අහිමි කර ගත්තේය. ෂෙනන් ගේබ්‍රියල් විසින් පිට ඉන්නට ඈතින් ඇදී එවන ලද පන්දුවකට එළවා ගොස් පහර එල්ල කිරීමට පැතුම් ගත් උත්සාහයේදී එය පිත්තේ පිටත දාරයේ වැදී  උඩ පන්දුවක් ලෙස කඩුලු රකිනා ජොෂුවා විසින් රැක ගත්තේය. දිනයේ දැවී ගිය අනෙක් පිතිකරුවන් වූයේ ඕෂද ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔවුන් දෙදෙනාම රොස්ටන් චේස්ගේ පන්දු හමුවේ දැවී ගියේය.

පා ඉන්න දෙසට පන්දුව යැවීමට දරන ලද උත්සාහයේදී ෂෝට් ලෙග්හි පන්දු රැකි කෘමා බෝනර් ඕෂදගේ උඩ පන්දුවද, මිඩ් විකට් කළාපයේ පන්දු රැකි ජේසන් හෝල්ඩර් රැක ගන්නා උඩ පන්දුව හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද පිටියෙන් ඉවත්වූහ. ඔවුන් දෙදෙනාම ලකුණු 3 බැගින් රැස් කර තිබුණි.

අවු රශ්මියද තදින් ඇද හැළුණු පළමු දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නායකයා කඩුලු රකින ජොෂුවා ද සිල්වා, කෘමා බෝනර් හැරුණු කොට පිටියේ කණ්ඩායමට ඇතුළත් සියළුම දෙනා පන්දු යැවීම සඳහා යොදා ගත්තේය. මංගල තරගයේදී ෂෝට් ලෙග්හි පන්දු රැකි ජෙරමි සොලොසානෝගේ හිසට පන්දුවක් වැදීම නිසා ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කළේය. ඒ කෙසේ වෙතත් දිනය අවසන් වන විට කොදෙව් නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකු සහාය ලබා ගත්තද සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තේ රොස්ටන් චේස් (කඩුලු 2) සහ කෙමාර් රෝච් බංකුවේ තබමින් අවසන් 11 දෙනා අතරට එක්වුණු ෂෙනන් ගේබ්‍රියල් (කඩුලු 1) පමණි.

කාසියේ වාසියත් සමඟ කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කරද්දී ඊට කදිම සහායක් ලබා දුන් පැතුම් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දායකත්වය දැක්වීය. මෙය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් රැස් කරන ලද ඉහළම සම්බන්ධතාවය ලෙසින්ද සටහන් විය.

ඒ අතරතුරදී දිමුත් විසින් එල්ල කරන ලද වේගවත් පහරක් ඔහු අසළම පන්දු රැකි ජෙරමි සොලෝසානෝගේ හිසේ වැදීම නිසා ඔහුව පිටියෙන් පිටතට රැගෙන ගියේ ගිලන් මැස්සක ආධාරයෙනි. සොලෝසෝගේ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති කොදෙව් මාධ්‍ය අංශය වැඩි ඔහුගේ තත්ත්වය පිළිබවැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා අද රාත්‍රියේ රෝහලේ තබා ගැනීමට වෛද්‍යවරුන් තීරණය කළ බව සඳහන් කර සිටියි.

ආරම්භක පිතිකරුවාගේ භූමිකාව සඳහා සොලෝසානෝව යොදා ගත්තද ඉදිරියේදී කණ්ඩායමට එකතු වන්නේද යන්න තීරණය වන්නේ අවසන් වෛද්‍ය වාර්තා වලට පසුවය. කෙසේ වෙතත් කම්පනය වන අවස්ථාවකදී ක්‍රීඩකයකු ආදේශ කර ගැනීමේ අවස්ථාව කණ්ඩායමට හිමිව තිබේ.  එහෙත් සිය මංගල තරගයේදීම එවන් අවාසනාවකට ලක්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට සොලෝසානෝ පත්වීම කණගාටුවට කරුණක් වේ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.  

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest