slc
Home   |    News
දෙසැම්බර් 6, 2021
කලම්බු ස්ටාර්ස් ජයග්‍රාහීව LPL ගමන අරඹයි

sinhala editor

By Chamila Karawita

දෙවැනි වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ ජය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම කලම්බු ස්ටාර්ස්ට එරෙහිව අද (06 දා) පැවැති තරගයෙන් කඩුලු 4ක පරාජයක් අත් වින්දේය. කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සඳහා ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා බෙහෙවින් ඉවහල් වීය.

ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ ධනංජය ද සිල්වා තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කළේ නිලකුණු පන්දු වාර 2 ක්ද සටහන් කර ගනිමිනි. ඒ අතරතුරදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂගේ කඩුලු දවා ගැනීමට සමත් වුණු ධනංජය, පන්දුවට පහර දෙමින් ලකුණු 24 ක්ද පන්දු රකිමින් උඩ පන්දු 2 ක්ද රැක ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූවේය.

නුවන් තුෂාරගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් එල්ල කරන ලද කවර් ඩ්‍රයිව් පහරින් ලබා ගන්නා ලද ලකුණු 4 ත් සමඟ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී කලම්බු ස්ටාර්ස් ජයග්‍රහණය සනාථ විය. බැලූ බැල්මට ඉලක්කය පහසු ලෙසින් පෙනුණත් ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පන්දු යවන්නෝ ප්‍රතිවාදී පිලේ කඩුලු කඩුලු 6 ක් දවා ගැනීමට සමත්විය.

එම කඩුලු දවා ගැනීමේ මූලිකයා වූ නුවන් තුෂාර පළමුව පැතුම් නිස්සංකවද (01) අනතුරුව කුසල් පෙරේරාගේ (08) කඩුලු දවා ගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට ජීවයක් එක් කළේය. ඒ අතුරතුරදී මොහොමඩ් හෆීස් විසින් ටොම් බැන්ටන්වද දවා ගනිමින් පීඩනය වැඩි කළේය. ඒ සමඟම හඹා යෑම තරමක් අසීරු බවක් පෙන්නුම් කළ නමුදු මැද පෙළින් පැමිණි ධනංජය ද සිල්වා (24), දිනේෂ් චන්දිමාල් (26) සහ ඩේවිඩ් වීස් (22) වැඩි කලබලයකින් තොරව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

පස්වරුවේ තරගයක් පැවැත්වුණු හෙයින් තණතීරුව කඩතොලු වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් කාසියේ වාසියත් සමඟ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම දෙවතාවක් නොසිත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් ආරම්භයේ සිටම ආක්‍රමණකාරී පන්දු යැවීමක නිරත වුණු කලම්බු ස්ටාර්ස් පන්දු යවන්නෝ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව 06 ක්ව තිබියදී නරඹන්නන් බවට පත් කිරීමට සමත්වූහ.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම මත තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන ලද ධනංජය ද සිල්වා ස්ලිප් ස්ථානයේ සිට රැක ගන්නා ලද සුපිරි උඩ පන්දුව හමුවේ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේය. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීය. විනය කඩ කිරීම නිසා මෙන්ඩිස් සමඟ තරග තහනමකට ලක්වූ අනෙක් ක්‍රීඩකයා වූ ධනුෂ්ක ගුණතිලක ගේ කඩුල්ල ධනංජය ද සිල්වා විසින් දවා ගනු ලැබුවේ ගෝල් ග්ලැඩියේටර් පිල තවත් අපහසුතාවයට පත් කරමිනි.

මැද පෙළින් පැමිණි බෙන් ඩන්ක් පමණක් පන්දු 25 කදී ලකුණු 38 ක් ලබා පිතිකරුවකු ලෙස හිස ඔසවද්දී සමිත් පටෙල් ලකුණු 14 ක් ලබා ගනිමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් එක් කළේය. එහෙත් අකිල ධනංජය විසින් බෙන් ඩන්ක්වද ධනංජය ද සිල්වා විසින් භානුක රාජපක්ෂවද දවා ගනු ලැබුවේ මුලු ලකුණු සංඛ්‍යාව 69 රැදී තිබියදීය.

16 වැනි පන්දුවාරය වන විට 8 වැනි පිතිකරුවා ලෙසින් ළහිරු මදුශංකවද දවා ගැනීමට අකිල ධනංජය සමත්වීම නිසා විටෙක ගෝල් ග්ලැඩියේටර් පිලට ලකුණු 100 ඉක්මවා ලබා ගැනීම අවධානම් සහගත විය. එහෙත් විස්සයි-20 තරග අංශයෙහි ලබා ඇති සිය පරිණත භාවය මැනවින් ප්‍රයෝජනයට ගත් ඉසුරු උදාන ගෝල් ග්ලැඩියේටර් පිල ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ඒමේ වගකීම කරට ගත්තේය. එහිදී 10 වැනි පිතිකරුවා වූ නූර් අහමඩ් සමඟ එක්වූ උදාන ඉනිමේ අවසන් පන්දු 27 දී ලකුණු 39 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ගෝල් ග්ලැඩියේටර් ලකුණු පුවරුව ඉහළ දැමූහ. හයේ පහර 2 ක් ඇතුළත් වුණු උදාන ලබාගත් ලකුණු 25 සඳහා පන්දු 17 ක් පමණක් වැය කළේය. ඔහුට අනගි සහායක් ලබා දෙමින් ලකුණු රැස් කළ අහමඩ් ලකුණු 11 ක් ලබා ගත්තේ තම ඉනිම ද නොබිඳී පවත්වා ගනිමිනි.

තරගයේ වීරයා – ධනංජය ද සිල්වා

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර් පන්දුවාර 20 දී කඩුලු 8 ට ලකුණු 116 යි – (බෙන් ඩන්ක් 38, සමිට් පටෙල් 14, ඉසුරු උදාන 25*, ධනංජය ද සිල්වා 18/2, දුෂ්මන්ත චමීර 25/2, අකිල ධනංජය 19/2, සීකුගේ ප්‍රසන්න 17/1, ඩේවිඩ් වීස් 16/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 17.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 117 යි – (දිනේෂ් චන්දිමාල් 26*, ඩේවිඩ් වීස් 22, ධනංජය ද සිල්වා 24, ටොම් බෙන්ටන් 10, ශෙර්ෆෙන් රදර්ෆර්ඩ් 10, නුවන් තුෂාර 26/2, පුලින තරංග 31/2, මොහොමඩ් හෆීස් 15/1, නූර් අහමඩ් 22/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest