slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2021
කැන්ඩි වොරියර්ස් පළමු ජය ලබයි

sinhala editor

By Chamila Karawita

දෙවැනි එල්.පී.එල්. තරගාවලිය යටතේ පළමු තරග 3 ම පරාජයට පත්ව සිටි කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අද (11 දා) සිය පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව පැවැති මෙම තරගයේදී කඩුලු 5 ක ජයක් වාර්තා කළ කැන්ඩි වොරියර්ස් ක්‍රීඩකයෝ ජයග්‍රාහී මාවතට අවතීර්ණ වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි වොරියර්ස් පිල 19 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ජයග්‍රහණය සපුරා ගන්නා විටදී රවී බොපාරා ලකුණු 34 ක්ද මිනෝද් භානුක ලකුණු 08 ක්ද ලබා සිටියහ. බැලූ බැල්මට ඉලක්කය පහසු එකක් ලෙස දිස් වූවත් පිතිකරණයේදී තණතීරුවෙන් කිසිදු සහයෝගයක් නොලැබී යෑම හේතුවෙන් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ කඩුලු 5 ක් පූජා කිරීමට ජයග්‍රාහී කැන්ඩි පිලට සිදුවිය.

කැන්ඩි වොරියර්ස් පිලේ පළමු කඩුලු 4 ම මුලු ලකුණු සංඛ්‍යාව 56 දී බිඳ වැටුණේ පන්දුවාර 10 ක් අවසන් වීමට මත්තෙනි. පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්ව සිටි ටී.එම්. සම්පත්, චරිත් අසලංක, ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් සිවු දෙනාම දැවී යෑම නිසා අවසන් පන්දු 62 දී ජයග්‍රහණය සඳහා ලකුණු 72 ක් ලබා ගැනීමේ අභියෝගය වොරියර්ස් පිට පැටවිණි.

කෙසේ වෙතත් වගකීම කුමක්ද යන්න හරි හැටි වටහා ගත් රවී බොපාරා, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ටොම් මුවර්ස් සමග එක්ව ලකුණු 50 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි ජයග්‍රහණය සඳහා අවශ්‍ය මාවත විවර කළහ. මෙහිදී ප්‍රතිවාදී පිලෙන් හිමිවූ අතිරේක ලකුණු 21 නොවන්නට කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණය මීට වඩා අසීරුවන්නට ඉඩ තිබිණ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය සඳහා රොව්මන් පවෙල් පිටත්ව ගිය බැවින් ඒ වෙනුවට කණ්ඩායමට එක් කරගන්නා ලදබොපාරා රැස් කරන ලද ලකුණු 34 සඳහා පන්දු 39 ක් වැය කළේය. හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් වුණු එම ඉනිම විස්සයි-20 තරග රටාවට කිසිසේත් උචිත නොවූවක් වුවත් තණතීරුවේ හැසිරීම අනුව එම ඉනිමේ වටිනා කම කියා නිම කළ නොහැක. ජයග්‍රහණයට ලකුණු 25 ක් තිබියදී මුවර්ස් (28) දැවී ගියද මිනෝද් භානුක සමඟ එක්වූ බොපාරා වොරියර්ස් පිල ජය කණුව කරා රැගෙන ගියේය.

ඉනිම ආරම්භයේ සිටම අවසාන වන තෙක්ම කැන්ඩි වොරියර්ස් දඟ පන්දු යවන්නන් ගෝල් ග්ලැඩියේටර්ස් පිතිකරුවන්ට හිසරදයක් විය. පිතිකරුවාගේ කඩුල්ල තුළටම යොමු කරමින් පන්දු යැවි කැන්ඩි වොරියර්ස් පිලේ හොඳම පන්දු යැවීම කමිඳු මෙන්ඩිස් විසින් වාර්තා කළේය. කමිඳුට අමතරව නවක දඟ පන්දු යවන්නකු වූ නිමේෂ් විමුක්තිටද එල්.පී.එල්. වරම් හිමිවූ මෙම තරගයේදී වගකීම අකුරටම ඉටු කළ වමත් දඟ පන්දු යවන්නා සිය පන්දුවාර 4 ලකුණු 17 කට සීමා කළේ සදීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුලු දවා ගනිමිනි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 34 කදී ලකුණු 44 ක් රැස් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කරමින් පන්දුවට පහර දුන් දකුණත් ආරම්භක පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට පැන පහර එල්ල කිරීමට යෑමේදී සිය කඩුල්ල අහිමි කර ගත්තේය. මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟ ගාලු ලකුණු පුවරුව 13 වැනි පන්දුවාරයේදී ලකුණු 75 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් විය.

වොරියර්ස් පන්දු යවන්නෝ මෙම තරගයේදී කෙතරම් ඉලක්කගත පන්දු යැවීමක නිරත වූයේද කිවහොත් ග්ලැඩියේටර්ස් පිතිකරුවන්ට ලකුණු 10 ට වඩා පන්දුවාරයකට රැස් කිරීමට අවස්ථාව සලසා දුන්නේ අවස්ථා 3 කදී පමණි. තණතීරුවේද පිතිකරුවන්ට එතරම් දායකත්වයක් නොලැබීම කැපී පෙනුණු නමුත් මැද පෙළින් පන්දුවට පහර දුන් සමිට් ටෙල් පන්දු 32 කදී ලකුණු 36 ක් ලබා ගනිමින් ග්ලැඩියේටර් ලකුණු පුවරුව ඉහළ දැමීය. නොදැවුණු පිතිකරුවකු ලෙසින් කඩුල්ලේ රැඳී සිටි පටෙල් හයේ පහරක් සහ හතරේ පහරක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය.

ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ගාලු ඉනිමේ වැඩිම බලාපොරොත්තු තබා තිබෙන පිතිකරුවා වන ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ලද ඇතුළුව ශිරාස් අහමඩ් ලකුණු 23 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම  මුහුණ දුන් පන්දු 120 න් පන්දු 47 ක් නිලකුණු පන්දු වශයෙන් සටහන් විය.

තරගයේ වීරයා – රවී බොපාරා

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 127 යි – (කුසල් මෙන්ඩිස් 44, බෙන් ඩන්ක් 12, සමිට් පටෙල් 36*, ධනංජය ලක්ෂාන් 14, කමිඳු මෙන්ඩිස් 25/3, නිමේෂ් විමුක්ති 17/2, ශිරාස් අහමඩ් 23/2)

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 18.4 කදී කඩුලු 5 කට ලකුණු 131 යි – (රවී බොපාරා 34*, ටොම් මුවර්ස් 28, ඇන්ජලෝ පෙරේරා 12, චරිත් අසලංක 21, සමිට් පටෙල් 20/2, මොහොමඩ් අමීර් 19/1, ධනංජය ලක්ෂාන් 20/1, නුවන් තුෂෘර 31/1)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee