slc
Home   |    News
දෙසැම්බර් 3, 2021
කෝටි 2 ක ත්‍යාග මුදල් රැගෙන දෙවැනි වරට එන LPL බලන්න ප්‍රේක්ෂකයින්ට අවසර

sinhala editor

අන්තර්ජාතික විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරු පිරිවරා දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වන දෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනු ලබන කණ්ඩායම සඳහා ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් කෝටි 2 ක මුදලක් ලබා දීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ.  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2021 තරගාවලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමකදී මේ පිළිබඳව තරගාවලි සංවිධායකයෝ දැනුම් දී සිටියහ.

ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්, කලම්බු ස්ටාර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අනුශූරතාවට පත් වන කණ්ඩායමටද රුපියල් කෝටියක මුදලක් පිරිනැමෙනු ඇත.

අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියේ මූලික වටයේ තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% ක සංඛ්‍යාවකට ක්‍රීඩාංගණය තුළට යෑමට සෞඛ්‍ය අමාත්‍යෘංශය අනුමැතිය ලබා දී තිබීමයි.

මේ පිළිබඳව කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සහ ලංකා ප්‍රිමියර් ලීග් පාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය. සති දෙකකට පෙර කොවිඩ් මාත්‍රා දෙකම එන්නත්කරණය කොට අවසන් ප්‍රේක්ෂකයින්ට පමණක් එම වටිනා අවස්ථාව හිමිවන බවද වෛද්‍ය කමිටු  සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“ක්‍රීඩාංගණය ඇතුළට ගන්න ප්‍රේක්ෂකයින්ගේ පරීක්ෂණ කරන්න බලාපොරොත්තුවක් නෑ” යැයි සඳහන් කළ මහාචාර්යවරයා, “සති 2 කට කළින් මාත්‍රා දෙකම අරගෙන තියෙන අයට තමයි මේකෙ ප්‍රේක්ෂකයින් හැටියට ගන්න පුලුවන්. ඒ වගේම ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් ඒකත් 50% යි. ඒ විදියට ගියොත් තමයි අපිට යන්න පුලුවන්.  මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නවා අවුරුදු 2 ක්ම ක්‍රිකට් ගැහුවේ ප්‍රේක්ෂකයින් නැතුව කියලා. නමුත් අපි කිසිම අවස්ථාවක සෞඛ්‍ය නීති රීති කිසිවක් කඩ කරලා නෑ කියලා ඔවුන් තුළ විශ්වාසයක් තියෙනවා” යනුවෙනි.

පෙර තරගාවලියේ පරිදිම මෙවර තරගාවලියේදීද තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ජෛව බුබුලු ආරක්ෂිත පරිසරයක රැඳවීමට පියවර ගෙන තිබේ. දේශීය ක්‍රීඩකයින් පැය 48 කට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවද විදෙස් රටවල සිට පැමිණෙන දෙස් – විදෙස් ක්‍රීඩකයින් පැය 48 කට පෙර සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලයට අමතරව ගුවන් තොටුපොළේදී සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණය සහ ඇන්ටිජන්ට් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම ජෛව බුබුලට ඇතුළත් කෙරෙනු ඇත. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත ගුවන් තොටුපොළේදී ගනු ලබන සාම්පල ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රසායනාගාරය මගින් සිදුකිරීමට නියමිතව තිබේ.

ඉන් පසු නීරෝධායන කාලසීමාව සිය කාමර තුළ ගත කරන ක්‍රීඩකයින් නැවතත් දින 3 කට පසු සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජෛව බුබුලට ඇතුළත් කෙරෙනු ඇත. මෙහිදී ක්‍රීඩකයින්ගේ ප්‍රතිශක්තීකරණ මට්ටම තහවුරු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමත්, එම පිරිස පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින්නේ නම් පමණක් නීරෝධායන කාල සීමාවකින් තොරව ජෛව බුබුලට එක්වීමේ හැකියාව පවතින බවද මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

ඒ ඒ කණ්ඩායම් සඳහා වෙනම වෛද්‍යවරයකු බැගින් පත් කර තිබෙන අතර තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේදීද ඇන්ටිජන්ට් සහ පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

මෙම මාධ්‍ය හමුව සඳහා එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා, එල්.පී.එල්. තරගාවලියේ සංවිධාන හිමිකරුවන් වන අයි.පී.ජී.හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුද සහභාගිවූහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest