slc
Home   |    News
දෙසැම්බර් 9, 2021
තිසර සහ අවිෂ්ක ‘ජැෆ්නා කිංග්ස්’ට ජය ගෙනෙයි

sinhala editor

By Chamila Karawita

එකිනෙකාට නොදැවෙනි වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරාගේ ගිණි කෙළි සංදර්ශණයක් බඳු වූ දැවැන්ත හයේ පහර වලින් සමන්විත වේගවත් පිතිහරඹය හේතුවෙන් කැන්ඩි වොරියර්ස්ට එරෙහිව අද (08 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලියේ තරග 4 කට සහභාගිව සිටින ජැෆ්නා පිල ලබා ගත් තෙවැනි ජයග්‍රහණය ලෙසින් මෙම තරග ජය සනිටුහන් වද්දී කැන්ඩි වොරියර්ස් ලද තෙවැනි පරාජය ලෙසින්ද සටහන් විය. .  

එක් පිලකට පන්දුවාර 14 බැගින් සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක්හඹා ගිය කැන්ඩි වොරියර්ස් පිලට කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි.

පන්දුවාරයකට ලකුණු 12.92 කට වඩා වැඩි දළ වේගයක් රඳවා ගැනීම අනිවාර්ය වූ  මෙම හඹා යෑමේදී කැන්ඩි වොරියර්ස් පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ රොව්මන් පවලේ පන්දු 19 කදී වේගවත් ලකුණු 61 ක් රැස් කර ගත්තේය. හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ රොව්මන්ගේ මුහුණ දුන් 15 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා ගියේ මෙවර තරගාවලියේ වේගවත්ම සහ එල්.පී.එල්. තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියමිනි. පළමු භාගයේදී තිසර පෙරේරා විසින් පන්දු 19 කදී අර්ධ ශතකය වාර්තා කරමින් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී නමුත්, පවෙල්ගේ ඉනිම නිසා එම ඉනිම හෝරා දෙකක් ඉක්ම යෑමට මත්තෙන්ම දෙවැනි තැනට ඇද වැටිණ.

ඉලක්කය අසීරු වුවත් සටන අත් නොහළ චරිත් අසලංක සහ කෙනාර් ලුවිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක් කළේ පන්දු 30 ක් පමණක් වැය කරමිනි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු අසලංකගේ ඉනිම පන්දු 19 කදී ලකුණු 42 ක් වශයෙන් සටහන් විය. ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා වන වනිඳු හසරංගව දැඩි ප්‍රහාරයකට ලක් කළ අසලංක ඇතුළු පිතිකරුවෝ ඔහුගේ පන්දුවාර 3 දී ලකුණු 47 ක් උදුරා ගත්තේ එකම කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි.

කෙසේ වෙතත් වනිඳුගේ වැඩිමහල් සහෝදරයා වන චතුරංග ද සිල්වා විසින් අසලංකව දවා ගැනීමත් සමඟ පිටියට පිවිසි රොව්මන් පවෙල්ගේ වේගවත් ඉනිම නිසා ජැෆ්නා කිංග්ස් සතුව තිබූ තරගය දෙපිළටම දෝලනය වන්නට විය. අවසන් පන්දු 18 දී ලකුණු 39 ක් ලබා ගැනීමේ අභියෝගයේදී සුරංග ලක්මාල් විසින් පවෙල්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ තරගයේ සියලු වාසි නැවතත් ජැෆ්නා කිංග්ස් පිල සතු විය. පවෙල්ගේ කඩුල්ලද සමඟ තම පන්දුවාර 3  ලකුණු 25 කට සීමා කළ සුරංග ලක්මාල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.  

මුළුමනින්ම තමන්ගේ අනසකට නතුකරගත් තිසර සහ අවිෂ්ක ලකුණු 53 බැගින් වාර්තා කර ගත්හ. තෙවැනි කඩුල්ලට එක් වූ දකුණත් වමත් පිතිකරුවන් යුගලය ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩ නංවන ලද්දේ පන්දු 33ක් පමණක් වැය කරමිනි.

මෙහිදී ඔවුන් කෙතරම් වේගයෙන් ලකුණු රැස් කළේද කිවහොත් ජැෆ්නා පළමු ලකුණු 50 වාර්තා කිරීම සඳහා පන්දු 34 ක් වැය කරද්දී ලකුණු 100 සඳහා රැස් කරන ලද ලකුණු 50 සඳහා වැය කර තිබුණේ පන්දු 15 ක් පමණි. ජැෆ්නා කණ්ඩායම රැස් කරන ලද ලකුණු 181 න් ලකුණු 128 ක්ම හයේ සහ හතරේ පහර වලින් වාර්තා වුණු ලකුණු විය. සමස්ථ ඉනිමේ හයේ පහර 16 ක් සහ හතරේ පහර 8 ක් වාර්තාවී තිබුණු අතර ඉන් 7 ක් අවිෂ්කගේද 6 ක් තිසරගේ නම් ඉදිරියෙන්ද සටහන් විය. පන්දු 23 කදී වාර්තා වුණු අවිෂ්කගේ ලකුණු 53 ක ඉනිමට එකම හතරේ පහරක් හෝ ඇතුළත් නොවූ අතර තිසර පෙරේරා හතරේ පහර 2 ක් එල්ල කර තිබුණේය.

කාසියේ වාසිය දිනූ කැන්ඩි වොරියර්ස් නායක ඇන්ජලෝ පෙරේරාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායමේ තෙවැනි පන්දුවාරය අවසන් වීමට මත්තෙන් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ක්‍රීඩාංගණ සේවකයින්ගේ දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසින් තරගය මිනිත්තු 106 කට පසුව ආරම්භ කරන ලද්දේ එක් පිලකට පන්දුවාර 14 බැගින් වූ තරගයක් ලෙසිනි. සංදර්ශනය ආරම්භ වූයේ පස්වැනි පන්දුවාරය අවසානයත් සමඟය.

පවර් ප්ලේ පන්දුවාර 6 ට හිමි අවසන් පන්දුවාරය යැවීම සඳහා පැමිණි ටී.එම්. සම්පත්ගේ පළමු පන්දුවට ලකුණක් කරා පැති මාරු කරගත් තිසර පෙරේරා පන්දුවට පහරදීමේ අවස්ථාව අවිෂ්කට ලබා දුන්නේය. ඉන් උපරිම ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා එම පන්දුවාරයේ ඉතිරි පන්දු 5 ටම සංග්‍රහ කරන ලද්දේ පිට පිට හයේ පහර 5 කිනි. එතැන් පටන් සිය වේගවත් පිතිහරඹය නොනවත්වා පවත්වාගෙන ගිය තිසර සහ අවිෂ්ක අතර වූ ලකුණු 50 සම්බන්ධතාව සඳහා පන්දු 17 ක් පමණක් වැය කළහ.

තරගයේ වීරයා – සුරංග ලක්මාල්

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 14 කදී කඩුලු 6 ට ලකුණු 181 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 53, තිසර පෙරේරා 53, ටොම් කොලර්කැඩ්මෝර් 14, ෂොයෙබ් මලික් 16*, චතුරංග ද සිල්වා 21, ශිරාස් අහමඩ් 22/3, නිමේෂ් විමුක්ති 17/1, අල් අමීන් හොසේන් 31/1, කමිඳු මෙන්ඩිස් 25/1)

 කැන්ඩි වොරියර්ස් පන්දුවාර 14 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 166 යි – (කෙනාර් ලුවිස් 41, චරිත් අසලංක 42, රොව්මන් පවෙල් 61, ජේඩ්න් සීල්ස් 40/2, චතුරංග ද සිල්වා 32/1, සුරංග ලක්මාල් 25/1)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest