By Chamila Karawita
තරග තහනමින් පසු පිටියට පිවිසි පළමු තරගයේදීම සාර්ථක පිතිහරඹයකට නියැළි නිරෝෂන් දික්වැල්ල සහ පිල් සෝල්ට් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 97 ක සම්බන්ධතාව ප්‍රධාන කොට එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි තරගය බවට පත් වුණු කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායම අද (06 දා) සමත්විය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමු තරගය ලෙස පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල ජයන්ස්ට් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 190 ක් රැස් කර ගැනීමට සමත්විය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි වොරියර්ස් පිලට ලබාගත හැකි වූයේ පන්දුවාර 20 කදී ලකුණු 170 ක් පමණි.
එම හඹා යෑමේදී පළමු කඩුලු 3ම ලකුණු 28 කදී දැවී ගියද නායක ඇන්ජලෝ පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ලට ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් සිටියදී ඊට රමේෂ් මෙන්ඩිස් හරස් විය. කමිඳු මෙන්ඩිස් දවා ගත් 10 වැනි පන්දුවාරයේදීම නායක ඇන්ජලෝ පෙරේරාගේ කඩුල්ල දවා ගත් රමේෂ් කැන්ඩි පිල තවත් අසරණත්වයට ඇද දැම්මේය.
ආරම්භක පිතිකරුවා වූ කෙනාර් ලුවිස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 10 කදී ලකුණු 17 ක් ලබා වේගවත් ආරම්භයක් ලබා ගත්තද නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. අනතුරුව ඩෙවෝන් ස්මිත්ව දවා ගත් ඉම්රාන් තහීර් කඩුලු දවා ගැනීමේදී ඈතට දිවයමින් දක්වනු ලබන සුපුරුදු ප්‍රීතිය කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදා ගත්තේය.
මැද පෙළ කඩා වැටුණු කැන්ඩි වොරියර්ස් වෙනුවෙන් පිටියට පිවිසි රොව්මන් පවලේ පන්දු 21 කදී වේගවත් ලකුණු 42 ක් රැස් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දැඩි වෙහෙසක් ගත්තේය. දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් සමන්විත වුණු පවෙල්ගේ ඉනිම නොවන්නට කැන්ඩි වොරියර්ස්ට ලකුණු 150 සීමාව පසු කර යෑමද අවධානම් විය. නුවන් ප්‍රදීප් විසින් වේගය අඩාල කරමින් එවන ලද පන්දුවට මිඩ් විකට් කළාපයේ පන්දු රකි චාමික කරුනාරත්න වෙත ඇදී ගිය උඩ පන්දුවෙන් පවෙල්ගේ ඉනිම නිමාවට පත් විය.
තරගයේ කැපී පෙනෙනම උඩපන්දු රැකීම ලෙසින් ඉෂාන් ජයරත්න දවා ගැනීම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු රැක ගන්නා උඩ පන්දුව සටහන් විය. මිඩ් විකට කළාපය වෙත දිව එමින් අඩි 5 කට වඩා දුරක් ගුවනට පැන නුවනිඳු එම උඩ පන්දුව රැක ගන්නා අවස්ථාවේදී ඔහුගේ මුළු ශරීරය පොළෝ මට්ටමට වඩා අඩි 4 කට උඩින් පැවැතීම උඩ පන්දුවේ ආකර්ෂණීයත්වය වැඩි කරවන්නට හේතු විය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 21 කට කඩුලු 3 ක්ද නුවන් ප්‍රදීප් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්හ.
දඹුල්ල පිල වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් පිල් සෝල්ට් තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකයට අද හිමිකම් කීවේය. සචිඳු කොළඹගේට එරෙහිව මිඩ් විකට් කළාපය ඉහළින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ සෝල්ට් මුහුණ දුන් 21 වැනි පන්දුවේදී අර්ධ ශතකය සනිටුහන් කර ගත්තේය. හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් ද ඇතුළත් වුණු සෝල්ට් ඉනිමේ දෙවැනි පිතිකරුවා ලෙසින් දැවී යද්දී පන්දු 27 කදී ලකුණු 64 ක් ලබා සිටියේය. කලකට පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ඔහුට අනගි සහායක් ලබා දෙමින් දැකුම් කළු අයුරින් පිටියේ සෑම අතටම පන්දුව යොමු කළේය. හතරේ පහර 6 කින් තම ඉනිම අලංකාර කරගත් වමත් පිතිකරුවා 23 වැනි පන්දුවේදී දැවී යන විට ලකුණු 37 ක් ලබා සිටියේය.
මැද පෙළින් වගකීම කරට ගත් නායක දසුන් පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් වේගවත් ලකුණු 24 ක් රැස් කරගත්තේය. මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමට පහසුවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට අවස්ථාව තිබූ නමුත්, මැද පෙළ පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවර වීමට නොහැකිවීම නිසා එම අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පසු පෙළින් පැමිණි රමේෂ් මෙන්ඩිස් අල් අමීන් හොසේන් යවන ලද අවසන් පන්දුවාරයේදී හයේ පහර 2 ක් එල්ල කිරීමට සමත්වීම නිසා ලකුණු 190 සීමාවට පැමිණිමට දඹුල්ල පිලට අවස්ථාව උදාවිය. නොදැවී සිටි පිතිකරුවකු ලෙසින් මෙන්ඩිස්ගේ ඉනිම සටහන් වද්දී ඔහුගේ නම ඉදිරියෙන් පන්දු 11 කදී ලකුණු 22 ක් සටහන්ව තිබිණ.
පන්දු යවන්නන් අතරින් ළහිරු කුමාර කැපී පෙනුණි. පන්දුවාර 4 ලකුණු 34 කට නවතාලූ වේග පන්දු යවන්නා කඩුලු 3 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අල් අමීන් හොසේන් ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳ හෙළීය. දැඩි ප්‍රහාරයකට ලක් වුණු දකුණත් දඟ පන්දු යවන සචිඳු කොළඹගේ කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවත් ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 46 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.
තරගයේ වීරයා – පිල් සෝල්ට්
ලකුණු සාරාංශය
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 190 යි – (පිල් සෝල්ට් 64, නිරෝෂන් දික්වැල්ල 37, දසුන් ශානක 24, ෂොයෙබ් මක්සූද් 11, රමේෂ් මෙන්ඩිස් 22*, ළහිරු කුමාර 34/3, අමීන් හොසේන් 36/2, සචිඳු කොළඹගේ 46/1, රොව්මන් පවලේ 12/1)
කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 170 යි – (රොව්මන් පවෙල් 42, ඇන්ජලෝ පෙරේරා 24, කමිඳු මෙන්ඩිස් 17, ඉෂාන් ජයරත්න 18, සචිඳු කොළඹගේ 27*, කෙනාර් ලුවිස් 17, නුවන් ප්‍රදීප් 31/3, රමේෂ් මෙන්ඩිස් 21/3, ඉම්රාන් තහීර් 28/1, දසුන් ශානක 43/1)