slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2021
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරග වටයට

sinhala editor

By Chamila Karawita

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීම සඳහා දෙපිළටම තීරණාත්මක තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ එම සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට තේරී පත්වීමට අද (14 දා) රාත්‍රියේ සමත්වූහ. එල්.පී.එල්. 2021 තරගාවලියේ මූලික තරග වටය යටතේ තවත් තරග 4 ක් පැවැත්වීමට නියමිතව තිබුණත්, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අමතරව ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම්ද මේ වන විටත් අවසන් කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය සඳහා ස්ථාන වෙන් කර ගෙන සිටිති.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන රැඳී සිටින කලම්බු ස්ටාර්ස් පිලටත් කැන්ඩි වොරියර්ස් පිලටත් ඉදිරියේ තරග වැදීමට නියමිත තරග තීරණාත්මක වනු ඇත. මෙම කණ්ඩායම් දෙක අතරින් කලම්බු කිංග්ස් කණ්ඩායම තරග 6 කදී ජයග්‍රහණ 3 ක් ලබා ප්‍රසාද ලකුණු 6 ක්ද, කැන්ඩි වොරියර්ස් පිල තරග 6 කදී එක් ජයග්‍රහණයක් සමඟින් ප්‍රසාද ලකුණු 2 ක්ද ලබා එම සටහනේ පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙති.

පන්දු 84 කදී ලකුණු 135 ක් ලබා ගැනීමේ අභියෝගය කරපින්නාගෙන පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට ග්ලැඩියේටර්ස් පන්දු බලපරාක්‍රමය හමුවේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 5 කට ලකුණු 125 ක් පමණි. ජයන්ට්ස් පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිල් සෝල්ට් සමඟ එක්වූ නවක ක්‍රීඩක ජනිත් ලියනගේ ලකුණු 90 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුවත් එය ග්ලැඩියේටර්වරුන්ගේ අභියෝගය ඉක්මවා ලීමට තරම් බලපෑමක් සිදු නොවිණ.

දේශීය එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලද ජනිත් ලියනගේ දඹුල්ල ජයන්ට්ස් වෙනුවෙන් අංක 3 පිතිකරණ ස්ථානයෙන් පැමිණ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. නිමාවට පත් වුණු අන්තර් සමාජ දේශීය එක්දින ක්‍රිකට් තරගාවලියේ රාගම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ජනිත් ලියනගේ තරග 7 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 139 ක සාමාන්‍ය්‍යක් සමග මුලු ලකුණු 419 ක් රැස් කරමින් එම සම්මානයෙන් පිදුම් ලැබීය.

පන්දු 37 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ලකුණු 51 කින් සිය මංගල එල්.පී.එල්. ඉනිම සරසා ගනිද්දී එයට මනරම් වූ හයේ පහර 2 ක් සහ තවත් හතරේ පහර 5 ක්ද එල්ල කර තිබුණේය. ඔහු සමඟ ලකුණු රැස් කළ පිල් සෝල්ට් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 37 කදී ලකුණු 37 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවා ගත යුතු දළ වේගය රඳවා ගැනීමට මොවුන් දෙදෙනා සමත් වුවත්, සෝල්ට්, නායක දසුන් ශානක සහ ජනිත් ලියනගේ ලකුණු 6 ක් ඇතුළත දැවී යෑම ජයග්‍රහණය කරා ගිය ගමනට දැඩි පාඩුවක් විය. සමිට් පටෙල් විසින් පිට පිට පන්දු 2 කදී ශානක සහ ලියනගේ කඩුලු දවා ගනිමින් පීඩනය තර කරද්දී ජයන්ට්ස් ජයග්‍රහණයට පන්දු 14 කදී ලකුණු 40 ක් අවශ්‍යව පැවැතිණ. ඔවුන් දෙපළගේ කඩුලු 2 ද සමඟ සිය පන්දුවාර 3 ලකුනු 30 කට සීමා කිරීමට සමත්වීම නිසා පටෙල් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

 සටන අත් නොහළ නජිබුල්ලා සද්‍රාන් මොහොමඩ් අමීර්ගේ පන්දු 2 කට පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් යළි තරගයට අවතීර්ණවීමට උත්සාහ ගත්තද අවසන් පන්දු 6 අභියෝගය 22 ක් බවට පත්විය. කෙසේ වෙතත් අවසන් පන්දුවාරය යැවූ ඉසුරු උදාන සිය පන්දු 6 ලකුණු 14 කට සීමා කරමින් සද්‍රාන්ගේ කඩුල්ලද දවා ගත්තේ ජයන්ට්ස් ඉනිම ලකුණු 125 දී නවතා තබමිනි.

වර්ෂාවේ බලපෑම නිසා ඉනිමක් පන්දුවාර 14 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර් පිල කඩුලු 7 කට ලකුණු 134 ක් ලබා ගැනීමට සමත්වූවේය. මැද පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකි වුවත් නායක භානුක රාජපක්ෂ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු අතරට පිවිසීමට සමත්වීම නිසා දඹුල්ල ජයන්ට්ස් පිලට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 10 කට ආසන්න (9.57) සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගයක් ලබා දීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට අවස්ථාව උදාවිය.

වේගවත් ආරම්භයක් ලබාගත් ගුණතිලක -මෙන්ඩිස් යුගල පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 17 කදී ලකුණු 30 ක් ගොඩ නැංවීය. ආරම්භයේ සිටම නොබියව පහර කරා ගිය මොවුන් අතරින් ලකුණු පුවරු ලකුණු 22 ක්ම ගුණතිලකගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු විය.

42 වැනි වියේ පසුවන ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවී යන විට ගුණතිලක ලකුණු 22 ක් ලබා සිටියේ පන්දු 12 කට මුහුණ දෙමිනි. අනතුරුව මෙන්ඩිස්ට එක්වූ භානුක රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී වේගවත් ලකුණු 38 ක් එක් කළහ. තමන්ට හිමි පන්දුවාර 3 දී දැඩි අභියෝගයක් ලබා දුන් තහීර් කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ග්ලැඩියේටර්වරුන් ලකුණු ලබා ගැනීමේ වේගයටද තරමක් බලපෑමක් එල්ල විය. මෙහිදී ජයන්ට්ස් පන්දු රකින්නන් අතින් උඩ පන්දු කීපයක්ද ගිලිහී යෑම ඔවුන්ගේ ඉලක්කය වැඩි අගයක් ගැනීමට හේතු විය.

තරගයේ වීරයා – සමිට් පටෙල්

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 14 කදී කඩුලු 7 ට ලකුණු 134 යි – (ධනුෂ්ක ගුණතිලක 22, කුසල් මෙන්ඩිස් 35, භානුක රාජපක්ෂ 33, මොහොමඩ් හෆීස් 11, ඉසුරු උදාන 13, ජොෂ් ලිට්ල් 29/2, ඉම්රාන් තහීර් 20/3, තරිඳු රත්නායක 17/1)

දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 14 කදී කඩුලු 5 කට ලකුණු 125 යි – (ජනිත් ලියනගේ 51, පිල් සෝල්ට් 41, නජිබල්ලා සද්‍රාන් 16, ඉසුරු උදාන 30/2, සමිට් පටෙල් 24/1, මොහොමඩ් අමීර් 24/1)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest