slc
logo
Home   |    News
දෙසැම්බර් 16, 2021
‘ස්ටාර්ස්’ හමුවේ ‘කිංග්ස්’ දැවැන්තම ජය ලබයි

sinhala editor

By Chamila Karawita

LPL තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළම ලකුණු සම්බන්ධතාව බවට පත් වුණු ටොම් කොලර්-කැඩ්මෝර් සහ උපුල් තරංග එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 110 ක සම්බන්ධතාව ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (16 දා) පස්වරුවේ පැවැති තරගයෙන් ලකුණු 102 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. එල්.පී.එල්. තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලද විශාලතම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් තරග වටයේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයට (Qualifier 1) හෙවත් පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට ද සුදුස්සන් බවට පත්වූවේය.

පන්දු 120 කදී ලකුණු 194 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ස්ටාර්ස් පිතිකරුවෝ ආරම්භයේ සිටම අපහසුතාවයකට පත්වූ බැවින් හඹා යෑමක නිරත වනු දක්නට නොලැබිණ. ඔවුන්ගේ වගකීම් විරහිත පිතිහරඹය ස්ටාර්ස් ඉනිම පන්දුවාර 15 කුත් පන්දු 5 කදී ලකුණු 91 කට සීමාවීමට හේතු විය. පන්දු යැවීමේදී ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ හෙළූ වේග පන්දු යවන ජේඩ්න් සීල්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට අමතරව යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් කිංග්ස් පිලට එකතුව සිටින විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3 ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් ද බිඳ දමමින් පන්දුවෙන් සහයෝගය ලබා දීම නිසා ස්ටාර්ස් පිතිකරුවන් අතරින් තිදෙනකු පමණක් ද්විත්ව ලකුණු සංඛ්‍යාවක් කරා ගියහ.

මෙම තරගය සඳහා ගිය තරගයේ වීරයා වුණු සීකුගේ ප්‍රසන්න ඇතුළු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ක්‍රීඩා නොකිරීම කැපී පෙනුණි. ක්‍රීඩා කළවුන් අතර ටොම් බැන්ටම් පමණක් ලකුණු 30 සීමාවට පැමිණියේය. ඉනිම ඇරැඹි ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ගේ කඩුලු තීක්ෂණ ලබා ගනිද්දී ඉදිරි පෙළ පිතිකරුවන් වුණු කුසල් පෙරේරා, ටොම් බැන්ටන් සහ කීමා පෝල්ගේ කඩුලු වියස්කාන්ත් විසින් දවා ගත්තේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වීමට උපුල් තරංග සහ ටොම් කොලර්-කැඩ්මෝර් සමත්වූහ. මෙය අවිෂ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරා එක්ව මෙතෙක් කඩුල්ලක් වෙනුවෙන් වාර්තාව තිබූ ලකුණු 105 ක සම්බන්ධතාව බිඳ දමන්නක් විය. පන්දු 70 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 53 ක් රැස් කර ගැනීමට කැඩ්මෝර්-තරංග යුගල සමත්වූහ.

එම සම්බන්ධතාවයේදී කැඩ්මෝර්ගේ ඉනිම වේගවත් වූ අතර පන්දු 32 කදී සිය අර්ධ ශතකය ඉක්මවා ගියේය. ඊට හාත්පසින්ම වෙනස් මන්දගාමී වූ පිතිකරණ රටාවක නියැළි උපුල් තරංග  වැන්ඩර්සිගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 37 ක් ලබා සිටියේ පන්දු 33 කට මුහුණ දෙමිනි. අනතුරුව පිටියට පිවිසි නවක ක්‍රීඩකයකු වූ අශාන් රන්දික සමඟද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධාවක් එක් කිරීමට කැඩ්මෝර් දායකත්වය දැක්වීය. පන්දු 21 ක් වැය වුණු එම සම්බන්ධතාවයේදී රන්දිකගේ දායකත්වය පන්දු 9 කදී ලකුණු 16 ක් විය.

නවීන් උල්හක් විසින් පන්දු 3 ක් ඇතුළතදී රන්දික සහ කැඩ්මෝර් පිටියෙන් ඉවත් කිරීමට සමත් වුවත් ස්ටාර්ස් පිලට කළ යුතු විනාශය සිදුකර තිබිණ. මුහුණ දුන් 55 වැනි පන්දුවේදී කැඩ්මෝර් දැවී යන විට දෙවැනි එල්.පී.එල්.තරගාවලියේ පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනීමට කැඩ්මෝර් සමත්වූවේය. හයේ පහර 8 ක් සහ හතරේ පයහර 5 ක් ඇතුළත් වුණු කොලර්-කැඩ්මෝර් ලකුණු 92 ක් රැස් කර ගැනීමට සමත්විය. ඔහුට පෙර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේ ලකුණු 73 ක් රැස් කල කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස්ය.

මැද පෙළින් පැමිණි වනිඳු හසරංග රවී රාම්පෝල් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී රැස් කරගන්නා ලද ලකුණු 16 ද කිංග්ස්පිල ලකුණු 200 සීමාවට ආසන්නයට රැගෙන ගියේය. හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වුණු හසරංග පන්දු 7 කදී ලකුණු 19 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා – ටොම් කොලර්-කැඩ්මෝර්

ලකුණු සාරාංශය

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 193 යි – (ටොම් කොලර්-කැඩ්මෝර් 92, උපුල් තරංග 38, අශාන් රන්දික 16, ෂොයෙබ් මලික් 10, වනිඳු හසරංග 19*, නවීන් උල්හක් 27/3, ජෙෆ්රි වැන්ඩර්සි 33/1, දුෂ්මන්ත චමීර 39/1)

කලම්බු ස්ටාර්ස් පන්දුවාර 15.5 කදී සියලු දෙනා දැවී ලකුණු 91 යි – (ටොම් බැන්ටන් 30, ධනංජය ද සිල්වා 11, ඇන්ජලෝ මැතිව්ස් 10, රවී රාම්පෝල් 10*, ජේඩ්න් සීල්ස් 13/4, මහීෂ් තීක්ෂණ 25/2, විජයකාන්ත් වියස්කාන්ත් 32/3)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest