slc
Home   |    News
ජනවාරි 18, 2022
දසුන්ගේ ශතකය අපතේ යයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

එක්දින තරග දිවියේ පළමු ශතකය ලබා ගැනීමට දසුන් ශානක සමත් වුවද,  පළමු තරගයට වඩා පන්දු යැවීමේ එල්ලය මෙන්ම පතිත කිරීම වඩාත් නිවැරදිව පවත්වාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වීම නිසා දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 22 ක අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට අද (18 දා) රාත්‍රියේදී සිදුවිය.

ටෙන්ඩායි චටාරාගේ පන්දුවකට මිඩ් විකට් කළාපයට ඉහළින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ශ්‍රී ලංකා නායකයා ශතකය සම්පූර්ණ කරගත්තේ  තරගය නැරඹීමට පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ඔල්වරසන් මධ්‍යයේය. එහෙත් වේගය අඩාල කරමින් එවන ලද ඊළඟ පන්දුවේදී දසුන්ගේ පිත්තට වඩා චටාරාගේ පන්දුව බලවත්වීම නිසා එතෙක් වේලා ඔල්වරසන් හඬින් ගිඟුම් දුන් මුළු ක්‍රීඩාංගණය, මීයට පිම්බාක් වැනි විය.

ලකුණු 303 ක ඉලක්කයක් හඹා යෑඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ඉක්මනින් දැවී යෑම නිසා ලකුණු ලබා ගැනීමේ වේගයට එය සෘජුවම බලපෑවේය. කමිඳු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න සමඟ එකතුවූ ශ්‍රී ලංකා නායකයා ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීමට කෙතරම් උත්සාහ කළද ආරම්භයේ සිදුවූ අතපසුවීම යළි නිරාකරණය කර ගැනීමට නොහැකි තරමටම ප්‍රතිවාදී පන්දු යවන්නෝ තරගය ග්‍රහණය කරගෙන සිටියහ.

  ලකුණු 31 කට පළමු කඩුලු 3 බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු රැක ගැනීම මැද පෙළ පිතිකරුවන් වෙත පැවැරී තිබූ ප්‍රධානම රාජකාරිය විය. එබැවින් පිටියේ ස්ථාවරත්වය ගොඩ නඟා ගැනීමට ඔවුනට තරමක වේලාවක් ගතවිණ. පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමේදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟ එක්වූ දසුන් ශානක පන්දු 120 කදී ලකුණු 118 ක්ද හය වැනි කඩුල්ල වෙනුවෙන් චාමික කරුණාරත්න සමඟ පන්දු 61 කදී ලකුණු 66 ක්ද රැස් කරමින් ඉනිමට ජීවයක් එක් කළහ. කෙසේ වෙතත් ඉනිමේ මැද භාගයේදී තරගයේ පාලනය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුවත් පෙරමුණේ වූ පසුබෑම මඟ හරවා ගැනීම අසීරු කරුණක් විය. එබැවින් අවසන් පන්දු 60 දී ජයග්‍රහණය සඳහා වූ අභියෝගය ලකුණු 92 ක් විය.

ජයග්‍රහණයට ලකුණු 56 ක් තිබියදී දසුන් දැවී යෑමත් සමඟ ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව සතුව තිබූ සියළු බලාපොරොත්තු සිම්බාබ්වේ පිල වෙත දෝලනය විය. පන්දු 94 ක් වැය වුණු දසුන්ගේ ලකුණු 102 ක ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ඇතුළත් විය. දසුන් දැවී ගියද චාමික කරුණාරත්න කඩුල්ලේ රැඳී සිටීම කිසියම් අස්වැසිල්ලක් ගෙන දෙන සිදුවීමක් බවට පත් වුවත්, චාමිකට වඩා සිම්බාබ්වේ පන්දු යවන්නන් උපක්‍රමශීලීවීම නිසා ශ්‍රී ලංකාවට නැවත හිස එසවීමට නොහැකි විය.

මෙම තරගය ජය ගැනීමට සිම්බාබ්වේ පිල සමත්වීමත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සම තත්ත්වයට රැගෙන ඒමට සිම්බාබ්වේ පිල සමත්විය. ඒ අනුව ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය අවසන් මහ තරගයක ස්වරූපයක් ගෙන පැවැත්වෙනු ලැබෙන්නේ එම තරගයේ තීරණය මත පදනම්ව තරගාවලියේ ශූරයින් තීරණය වන බැවිනි.

නායක ක්‍රේග් අර්වින්ට එකතු වුණු ෂෝන් විලියම්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 303 ක ඉලක්කයක් සත්කාරකයින් වෙත ලබා දීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකියාව ලැබිණ.  

පෙර තරගයේ පරිදිම 40 වැනි පන්දුවාරය වන තෙක් කඩුලු ආරක්ෂා කරගත් සිම්බාබ්වේ පිතිකරුවෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළහ. එම පන්දු 60 දී ලකුණු 70 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරාගැනීමට සිකන්දර් රාසා ප්‍රමුඛ මැද පෙළ පිතිකරුවෝ සමත්වූහ.

පළමු පන්දුවාරයේදීම ලකුණු 14 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම ඇරැඹූ  සිම්බාබ්වේ පිතිකරුවන් අතරින් පළමු තරගයේදී ශතක ලාභී ෂෝන් විලියම්ස් අර්ධ ශතකයට ලකුණු 2 ක් තිබියදී විශිෂ්ඨ ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය.

පිට පිට දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගැනීම නිසා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් යළිත් ශක්තිමත් ආරම්භයක් එක් කිරීමට ටකුඩ්වනාශේ කයිතානෝ සහ රෙගිස් චකබ්වා සමත්වූහ. පළමු තරගයේ කාබන් කොපියක් බඳු වූ ජෙෆ්රි වැන්ඩර්සි විසින් පළමුව කයිතානෝව දවා ගත් අතර අනෙක් පිතිකරුවා වූ චකබ්වාවද (47) මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් වන විට ක්‍රීඩාගාරයට යැවීමට සමත්වූවේය. සිම්බාබ්වේ නායකයාට අමතරව ලකුණු 50 සීමාව ඉක්මවාලූ එකම පිතිකරුවෝ වූයේ සිකන්දර් රාසා වන අතර අවසන් පන්දුවේදී ඔහු දැවී යන විට පන්දු 46 කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේය.  

පළමු තරගයේ විලියම්ස් කළ වගකීම අද දිනයේදී නායකයා වූ අර්වින් විසින් සිදුකළ නමුත් තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල සොයා යෑම නිසා ශතකය කරා යෑමේ අවස්ථාව ඔහුට අහිමිවිය. පන්දු 98 කදී ගොඩ නැංවුණු ලකුණු 91 ක ඉනිම සඳහා අර්වින් හතරේ පහර 10 ක් පමණක් ඇතුළත් කළේය.

නිරන්තරයෙන්ම පන්දුවාරයකට ලකුණු 6 ක දළ වේගයක් රඳවා ගැනීමට සමත් වුණු සිම්බාබ්වේ පිතිකරුවන් මට්ටු කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේම සේවය ලබා ගත්තද සංචාරකයෝ අවසන් පන්දුවාරයේදී ලකුණු 300 කඩඉම ඉක්මවාලූහ. කණ්ඩායම සතු ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප්ව පන්දුවාර 10ම යැවීම සඳහා යොදා ගත් අතර කඩුලු 2 ක් දවා ගැනීමේදී පිතිකරුවෝ ලකුණු 74 ක් රැස් ගෙන තිබිණ. පන්දු යැවීමෙන් තරමක් හෝ තර්ජනයක් වූයේ නම් ඒ මහීෂ් තීක්ෂණ පමණි. වැන්ඩර්සිගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සටහන් වුවත් ඉන් දෙකක්ම කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ස්ටම්ප් කිරීම් වලට හසුවූ කඩුලු විය. විලියම්ස්ට අමතරව ස්ටම්ප් කිරීමට හසුව දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ රෙගීස් චකබ්වාය.

තරගයේ වීරයා – ක්‍රෙග් අර්වින්

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest