slc
logo
Home   |    News
ජනවාරි 16, 2022
වාර්තාගත ජයකින් ශ්‍රී ලංකාව තරගාවලිය අරඹයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී මෙතෙක් කණ්ඩායමක් හඹා ගිය ඉහළම ඉලක්කයේ වාර්තාව බවට පත්වූ ලකුණු 297 ක ඉලක්කය පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (16 දා) හැකියාව ලැබිණ. 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුස්සන් බවට පත්වීමේ අරමුණ කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ප්‍රසාද ලකුණු මල්ලට තවත් ලකුණු 10 ක් එක්කාසු කරගත්තාට අමතරව සිම්බාබ්වේට එරෙහිව ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගයට පෙර තරගාවලිය 1-0 ක් ලෙසද පෙරමුණ ගැනීමට සමත්වූවේය.  

වෙනදාට ජයග්‍රහණයේ වැඩි කාර්යය භාරයක් පන්දු යවන්නන් විසින් සිදුකරන ලද නමුත් අද ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය පිතිකරුවන් වෙත හිමිවිය යුතුය. එම ජයග්‍රහණය වෙනුවෙන් පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක අර්ධ ශතක වාර්තා කරමින් අති විශිෂ්ඨ කාර්යය භාරයක් ඉටු කළහ.

ඉලක්කය විශාල වූ බැවින් ආරම්භයේ සිටම මනා කල්පනාකාරී වූ ශ්‍රී ලංකා පිතිකරුවන් දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් හැකි අවස්ථාවන්හිදී හතරේ සීමාවට යවමින් පන්දුවට පහර දීම කැපී පෙනුණි. මාස 6 කට අධික කාලයකින් පසු අද තරගයේදී පැතුම් නිස්සංක සමඟ ඉනිම ඇරැඹි කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් එක් කරමින් ආරම්භය සාර්ථක කර දුන්නේය.

දුර්වල පන්දු දුටු විගස එය හතරේ පහර බවට පරිවර්තනය කරගත් මෙන්ඩිස් ලකුණු 24 කට දැවී ගියද සිය සටන ඉදිරියට කරගෙන ගිය පැතුම් කමිඳු මෙන්ඩිස් සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 41 ක්ද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් චන්දිමාල් සමඟ ලකුණු 66 ක සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලංකාව ඉලක්කය කරා රැගෙන ගියහ. අර්ධ ශතක ලාභීහු තිදෙනාම ලකුණු 70 සීමාවට පැමිණීම විශේෂත්වයක් විය. පැතුම් නිස්සංක 75, දිනේෂ් චන්දිමාල් 75 සහ චරිත් අසලංක 71 බැගින් ලබා ගත්තද ඒ අතරින් වඩාත් වගකීමැති ඉනිම බවට පත් වූ දිනේෂ් චන්දිමාල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පන්දු 91 කදී ගොඩ නැංවුණු චන්දිමාල්ගේ ලකුණු 75 ක ඉනිම අනෙක් දෙදෙනාට වඩා වෙහෙසකර එකක් වූයේ හයේ පහර සහ හතරේ පහර එල්ල කිරීමට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කඩුලු අතර දිව යමින් ලබාගත් බැවිනි. එයට හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වද්දී සෙසු පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් හතරේ පහර 10 කින්ද චරිත් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 කින්ද සිය ඉනිම වර්ණවත් කරගෙන සිටියහ.

ඒ අතර දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ගොඩ නැංවුණු ලකුණු 129 සම්බන්ධතාවද ජයග්‍රහණයේ ප්‍රධානම අඩිතාලම බවට පත් කරන ලද සම්බන්ධතාව විය. ජයග්‍රහණයට ලකුණු 21 ක් තිබියදී චන්දිමාල් දැවී ගියද ඒ වන විටත් තමාගෙන් විය යුතු සේවය ඉටු කළ අවසන්වීම නිසා ශ්‍රී ලංකාව 48 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී ජයග්‍රහණය සනාථ කර ගත්තේය.

මීට පෙර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොසින් ජය වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වූයේ 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු 288 විය. ඒ අනුව අද දිනයේදී එම වාර්තාව අලුත් වූයේ කඩුලු 5 කට ලකුණු 300 ක් වශයෙනි.

පන්දු 88 කදී ගොඩ නැංවුණු ලකුණු 80 ක පළමු කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාවත් සමඟ ලකුණු රැස් කිරීම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමට ෂෝන් විලියම්ස්ගේ පස්වැනි ශතකයත් එකතුවීම නිසා නියමිත පන්දුවාර 50 අවසන් වන විට ලකුණු 300 සීමාව ආසන්නයට පැමිණීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකියාව ලැබිණ.

මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී පන්දුවාර 10 ක් යැවීමේ බලාපොරොත්තු ඇතිව අද තරගයට ක්‍රීඩා කරවූ වේග පන්දු යවන චාමික ගුණසේකරගේ සේවය එක් පන්දුවාරයකට සීමා වීම, සිම්බාබ්වේ පිතිකරුවන්ට වාසියට හේතුවිණ. මන්ද යත් ඉතිරි පන්දුවාර 9 යවා අවසන් කිරීම සඳහා අතිරේක පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයාට සිදුවීම නිසාය.

පිටියට පිවිස පස්වැනි ලකුණ ලබා ගැනීමත් සමඟ සිය එක්දින තරග දිවියේ 4000 වැනි කඩ ඉම ඉක්මවා ගිය වමත් විලියම්ස් සිම්බාබ්වේ මැද පෙළේ පූර්ණ වගකීම භාර ගත්තේය. 50 වැනි පන්දුවාරයේදී දැවී යන විට ලකුණු 100 ක් ලබා සිටියේ පන්දු 87 කට මුහුණ දෙමිනි. ශතකය වාර්තා කිරීමට පෙර චාමික කරුණාරත්නට පිට පිට පන්දු 2 කදී එල්ල කරන ලද හයේ පහරත් හතරේ පහරටත් අමතරව තවත් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් විලියම්ස් ඉනිම සරසාගෙන තිබුණේය.

වනිඳු හසරංගගේ ස්ථානය සඳහා පැමිණි ජෙෆ්රි වැන්ඩර්සි පළමු කඩුල්ලේ හිමිකරුවා බවට පත්වූෆය් ටයිකානෝව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි. පිතිකරුවන්ට වාසි දායක තණතීරුවේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් අද දිනයේ පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් හයදෙනාගෙන් ලකුණු 10 ඉක්මවාලීමට අසමත්වූ එකම පිතිකරුවා වූයේ සිම්බාබ්වේ නායකයා (09) පමණි.

නායකයාගේ දැවී යෑමත් සමඟ චකබ්වාට එකතු වූ විලියම්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක් එක් කළේය.වෙස්ලි මදිවර සමඟ සිව්වැනිකඩුල්ලට ලකුණු 42 ක් එක් කළ විලියම්ස්, සිකන්දර් රාසා සමඟින් පස්වැනි කඩුල්ලටද ලකුණු 46 ක් එක් කරමින් සිම්බාබ්වේ පිල ස්ථාවරත්වයක් වෙත රැගෙන ගියේය. මුලු ලකුණු සංඛ්‍යාව 285 ක්ව තිබියදී චාමිකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා වලියම්ස්ට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

සිම්බාබ්වේ කණ්ඩායමෙන් අද දිනයේදී එක්දින වරම් දිනා ගත් ටකුඩ්වනේෂ් කයිටානෝ පළපුරුදු පිතිකරුවකුගේ දක්ෂතා විදහා පාමින් පන්දු 50 කදී ලකුණු 42 ක් රැස් කොට රෙගිස් චකබ්වාට ලබා දුන් සහයෝගය අනර්ඝවිය. මුල් පන්දුවාර 10 දී එතරම් වේගවත් නොවූවත් ලකුණු 47 ක් රැස් කළ ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී කෝඩුකාරයා දැවී ගියේය.

පන්දුවට පහර දෙන අතරතුර ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීම සඳහා අවස්ථාවන් 2 ක් ලබා දුන් නමුත් දෙකම චරිත් අසලංකත් පැතුම් නිස්සංකත් අතිනි ගිලිහී ගියහ. මේ අතරින් දැවැන්තම හානිය බවට පත්වූයේ තෙවැනි පන්දුවාරය යැවූ නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට ස්ලිප් ස්ථානයේ පන්දු රැකි අසලංක වෙත ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමය. ඒ වන විටත් ලකුණු 02 ක් පමණක් ලබා සිටි රෙගීස් චකබ්වා, උඩපන්දුව ගිලිහී යෑමෙන් ලද වරමින් සිය සිව්වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තා පමණක් නොව ඉනිම ලකුණු 72 ක් දක්වා ඉහළටද දමා ගත්තේය. පන්දු 81 ක් වැය වුණු එම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් වර්ණවත්විණ. දෙවැනි උඩ පන්දුව වූ කයිටානෝගේ උඩ පන්දුව නිස්සංක වෙතින් ගිලිහී ගියද ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න වැඩිම කඩුලු ලාභියා වෙමින් කඩුලු 3 ක් දවා ගත්තද ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 69 ක් උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ. සිම්බාබ්වේ ඉනිමට යැවූ පන්දුවාර 50 අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේම සේවය ලබා ගත් අතර ඉන් වැන්ඩර්සි සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවා ගත්හ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar