slc
logo
Home   |    News
ජනවාරි 17, 2022
පැතුම් නිස්සංකගේ නව වසරේ බලාපොරොත්තුව

sinhala editor

Chamila Karawita reporting from Pallekele

සිම්බාබ්වේට එරෙහි එක්දින තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිලට පැහැදිළි අරමුණක් තිබිණ. ඒ ලබන 2023 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායමට 8 අතරට පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රසාද ලකුණු එක්කාසු කර ගැනීමය. එම තත්ත්වය යටතේ සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වුණු එක්දින තරගාවලියේදී 3-0 ක ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව සටනට පිවිසියේය.

එහි පළමු කඩඉමේදී ඉලක්ක අසීරු වූ ලකුණු 297 ක ඉලක්කය හඹා යෑමේදී පන්දු 9 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයත් සමඟම සුපර් ලීග් තරගාවලියේදී ජයග්‍රහණය සඳහා පිදෙන ප්‍රසාද ලකුණු 10 ක් ද ශ්‍රී ලංකාවට හිමිවිය. තරගාවලියට පෙර ප්‍රසාද ලකුණු 42 ක් හිමිකරගෙන සිටි ශ්‍රී ලංකාව පළමු තරගය අවසානයත් සමඟ එය 52 දක්වා ඉහළ දමාගැනීමට සමත්ව සිටියි. මෙම තත්ත්වය මත එතෙක් 6 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

සුපර් ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තවත් තරග 8 ක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබේ. සිම්බාබ්වේට එරෙහිව තරග 2 ක්, ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග 3 ක් සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 එම තරග වේ.

“ඇත්තටම අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ සිම්බාබ්වේ පිලට එරෙහිව වන තරගාවලිය. මේ තරගාවලිය හොඳට ඉවර කරන්න තමයි අපේ බලාපොරොත්තුව. පළමු තරගය අපි ජය ගත්තා වගේ අපි මේක හොඳට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉස්සරහට තියෙන තරග කීපයත් පුලුවන් තරම් හොඳට කරලා පළමු කණ්ඩායම් 8 අතරට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සදහන් කර සිටියේය.

ලකුණු 300 කට ආසන්න ඉලක්කයක් හඹා යෑමේදී මූලිකම කාර්යය භාරයක් ඉටු කළ පිතිකරුවන් තිදෙනා අතුරින් එක් පිතිකරුවකු බවට පත්වූ පැතුම් පන්දු 71 කදී ලකුණු 75 ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් එක් කර දීමට සමත්වූවේය. එක්දින තරග දිවියේ 10 වැනි තරගයට ඊයේ දිනයේදී සහභාගිවූ පැතුම්ගේ මංගල අර්ධ ශතකය ලෙසින්ද එම ඉනිම සටහන් විය.

“පීඩනයක් තිබ්බේ නෑ. මොකද මං කළින් හොඳට සෙල්ලම් කරලා තිබ්බ නිසා මේ තරගයට විශ්වාසය පිට තමයි පන්දුවට පහර දුන්නේ. ඒ වගේම මම සතුටු වෙනවා පළවැනි අර්ධ ශතකය ලබා ගැනීමට හැකිවීම ගැන. තණතීරුවත් හොඳයි. ඒකත් මට අර්ධ ශතකය ලබා ගන්න ලොකු පිටුවහලක් වුණා කියලා මම විශ්වාස කරනවා” යැයි සිය අර්ධ ශතකය වාර්තා කිරීම පිළිබඳව ආරම්භක පිතිකරුවා අදහස් දැක්වා සිටියේය.

තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමේදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 40 ක්ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සමඟින් ලකුණු 41 ක්ද එක් කළ නිස්සංක දිනේෂ් චන්දිමාල් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් තෙවැනි කඩුල්ලට රැස් කළ ලකුණු 66 ක සම්බන්ධතාව ශ්‍රී ලංකාවට වටිනා එකක් විය. මෙම සම්බන්ධතාවයේදී අත්දැකීම් අතින් චන්දිමාල් ඉදිරියෙන් සිටියද ඉක්මන් කෙටි ලකුණු ලබා ගනිමින් පන්දුවට පහර දීමේදී වැඩි අවස්ථාවක් පැතුම් වෙත ලබා දීම කැපී පෙනිණ.

“එතන හොඳින් පන්දුවට පහර දෙමින් හිටියේ මම. ඉතිං චන්දි අයියා (දිනේෂ් චන්දිමාල්) ආවිල්ල තණතීරුව ගැන වැඩි අවබෝධ්‍යක් තිබුණෙත් නෑ. එතකොට 290 ක් වගේ හඹා යන්න තියෙනකොට කවුරු හරි එක පැත්තකින් හයියෙන් ලකුණු රැස් කරන්න ඕන. ඉතිං මට පැත්ත අරගෙන වැඩිපුර පන්දුවට පහර දෙන්න චන්දි අයියා අවස්ථාව ලබා දුන්නා” යැයි එම කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර වූ සැලසුම පිළිබඳව පැතුම් අදහස් දක්වා සිටියේය.

2022 වසරේදී ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු එක්දින තරගය වූයේ සිම්බාබ්වේට එරෙහි තරගය වූ අතර උදා වූ වසරේදී සාර්ථක කර ගැනීම සඳහා තමන් සතු ඉලක්ක කීපයක් තිබෙන බවද 23 වැනි වියේ පසුවන දුකණත් පිතිකරුවා සඳහන් කර සිටියේය. ” මගේ පෞද්ගලික ඉලක්ක කීපයක් තියෙනවා. ඒ අතරින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අතරට එන එක මූලිකයි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා. මගේ ලොකුම අරමුණ වෙලා තියෙන්නේ ඒක” යි පැතුම් කියයි.

දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට (18 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම තරගයේදී වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට නියමිත බවද නිස්සංක සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee