slc
logo
Home   |    News
ජනවාරි 21, 2022
පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව ඉලක්ක කරා රැගෙන යති

sinhala editor

By Chamila Karawita

ඉලක්කය කුඩා වුවත් ඉලක්ක ගත වමත් පිතිකරුවන් දෙදෙනාම ලකුණු 17 ක් තුළදී දවා ගැනීමට දුෂ්මන්ත චමීරත් මහීෂ් තීක්ෂණත් සමත්වීම නිසා සිම්බාබ්වේට එරෙහිව පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 184 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ඉලක්කය වූ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීම සඳහා අත්‍යාවශ්‍ය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20 කින් ඉහළ දමා ගැනීමටද සමත්වූවේය.

පිට පිට පන්දු 2 කදී ආරම්භක පිතිකරුවාවත්, නායක ක්‍රෙග් අර්වින්වත් දවා ගනිමින් දුෂ්මන්ත චමීර ලබා දුන් විශිෂ්ඨ ආරම්භයත් සමඟ පන්දුවෙන් පන්දුව ග්‍රහණය දැඩි කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමු පන්දුවාර 15 අවසන් වීමට මත්තෙන් පළමු කඩුලු 5ම ලකුණු 37 ක් ඇතුළතදී දවා ගනිමින් ජයග්‍රාහී අඩිතාලම එක් කිරීමට සමත්වූහ.

මෙහිදී කයිතානෝව දවා ගැනීම අයිතිය ජෙෆ්රි වැන්ඩර්සි සතු වුවත්, එහි පසු පස වූයේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට කඩුලු රැකීම බව සඳහන් කළ යුතුය. පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා තරගයට පෙර දින සඳහන් කළ පරිදිම ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් වී සිටින වමත් පිතිකරුවන් දෙදෙනා පිළිබඳව දුෂ්මන්ත චමීරත්, මහීෂ් තීක්ෂණත් වගකිවූහ.

තෙවැනි පන්දුවාරයේදී චකබ්වාව දවාගත් චමීර ඊළඟ පන්දුවේදී නායක අර්වින්ව දවා ගන්නා ලද්දේ සිතා ගැනීමට කිසිවක් ඉතිරි නොකරමිනි. පිට ඉන්නට මඳක් ඈතින් කඩුල්ලෙන් පිටතට දෝලනය කර යැවූ පන්දුව, අර්වින්ගේ පිත්තේ දාරය සොයා එහ විශිෂ්ඨ ගණයේ උඩ පන්දුවක් ලෙසින් මෙන්ඩිස් රැක ගැනීම නිසා ශ්‍රී ලංකාවේ පළමු අභියෝගය ජය ගනු ලැබීය.

අනතුරුව පිටියට පිවිස් ෂෝන් විලියම්ස්, පන්දුව සමඟ වූ සටනේදී පරාජයට පත් වූයේ පිත්තත් පා ආවරණයත් අතර වූ කුඩා හිඩැසින් පන්දුව කඩුල්ල වෙත යැවීමට තීක්ෂණ සමත්වීම නිසාය. මෙවර තරගාවලියේ සිම්බාබ්වේ පිල වෙනුවෙන් එකම ශතක ලාභියා වූ විලියම්ස් ඒ වන විට ලබා සිටියේ ලකුණු 6 ක් පමණි. අනතුරුව ශ්‍රී ලංකාවට හිසරදයක් ගෙන දෙන පිතිකරුවකු වූයේ නම් ඒ සිකන්දර් රාසා වූ නමුත් ඔහුගේ වගකීම චාමික කරුණාරත්න ඉටු කළෙ පළමු පන්දුවෙන්ම පළපුරුදු පිතිකරුවා දවා ගනිමිනි. 24 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවෙන් සිමාබබ්වේ අවසන් පිතිකරුවාව වැන්ඩර්සි දවා ගන්නා විට මුලු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 70 ක් ලෙසිනි. මෙම ලකුණු සංඛ්‍යාව ප්‍රතිවාදී කණ්ඩායමක් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකාවේ දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට එක්දින තරගයකදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2001වසරේදී සිම්බාබ්වේ පිල දැවී ගිය ලකුණු 38 වේ.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීරගේ කඩුලු 2 කැපී පෙනුණද ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ ජෙෆ්රි වැන්ඩර්සිය. දකුණත් පා දඟ පන්දු යවන්නා අද දිනයේදී පන්දුවාර 7.4 කදී නිලකුණු පන්දුවාර 2 ක්ද සමඟ ලකුණු 10 ක් ඇතුළත ප්‍රතිවාදී පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගත්තේය. ඒ සමඟම තරග 3 කදී කඩුලු 9 ක් බිඳ හෙළමින්, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමටද වැන්ඩර්සි පහසුවෙන්ම පත්විය. අර්ධ ශතක 2 ක් ලබා ගත් පැතුම් නිස්සංක තරගාවලියේ වීරයා ලෙසින්ද චරිත් අසලංක අද තරගයේ වීරයා ලෙසින්ද සම්මාන දිනාගත්හ.

මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයත් සිම්බාව්වේ පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීමත් හමුවේ ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 254 කට නවතා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත්වූහ. අද තරගය සිය 11 වැනි එක්දින ජාත්‍යන්තර තරගය බවට පත් කර ගත් චරිත් අසලංක සිය පස්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් කඩා වැටුණු මැද පෙළින් ජීවය එක් කළේය. පන්දු 56 කට මුහුණ දුන් වමත් පිතිකරුවා පන්දු 56 කදී ලකුණු 52 ක් රැස් කර ගත්තේ හතරේ පහර 5 කින්ද සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ලකුණු 80 ක් එක් කිරීමට සමත් වුවත්, මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟ සිම්බාබ්වේ පන්දු යවන්නෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ. ලකුණු පුවරුවට ලකුණු 27 ක් එක්කාසු වන විට කඩුලු 3 ක් දවාගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත්වීම මත ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වන්නට සෘජුවම බලපෑවේය.

මෙතෙක් තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා ලකුණු 300 කට ආසන්න ඉලක්කයක් ලබා දීමේ අරමුණින් පිටියට පිවිසියද ඉනිමේ මැද කොටසේ පාලනය සිම්බාබ්වේ පන්දු යවන්නන් අණක වූයෙන් බලාපොරොත්තු වූ ඉලක්කයට යෑම පසෙක තබා ලකුණු 250 සීමාවෙන් ඉනිම හමාර කිරීමට සිදුවිය.

චරිත් අසලංකට අමතරව ඉනිමේ අනෙක් එකම අර්ධ ශතක ලාභියා වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විය. අනවශ්‍ය ලෙස ලකුණක් කරා යෑමට ගත් උත්සාහයේදී වෙස්ලි මදිවර් විසින් කෙළින්ම කඩුල්ලටම පන්දුව යොමු කිරීම නිසා මීට වඩා ඉහළ ලකුණු සංඛ්‍යාවකට කරා නිස්සංකට තිබූ අවස්ථාව ලකුණු 55 න් නිමාවට පත්විය. පන්දු 66 කට මුහුණ දුන් දකුණත් ආරම්භක පිතිකරුවා තම ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් කර ගත්තේය. මන්දගාමී වුවත් ඔහුට අනගි සහායක් ලබා දුන් මෙන්ඩිස් ලකුණු 36 ක් ලබා ගත්තේය. සීමා ඉරෙන් ඉදිරියට පැන එල්ල කරන ලද ඉන්සයිඩ් අවුට් පහරකට යෑමේදී එය ලෝන් ඕෆ් හි පන්දු රකිමින් සිටි මුසරබානි රැක ගැනීඹ නිසා මෙන්ඩිස්ගේ ඉනිම මුහුණ දුන් 51 වැනි පන්දුවේදී නිමාවට පත්විය.

නුවන් ප්‍රදීප්ගේ ස්ථානය වෙනුවෙන් කැඳවූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. නම් දැරූ පිතිකරුවන් සිටියදී ප්‍රහාරාත්මක වේගය ලකුණු 100 එහා රඳවා ගැනීමට සමත් වූ එකම පිතිකරුවා වූ රමේෂ් (123.80) පන්දු 21 කදී ලකුණු 26 ක් ලබා ගත්තේය. ඔහු හා චාමික කරුණාරත්න (30)  අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් පැවැත් වුවත්, ඉන් ලකුණු 26 ක්ම පන්දු 21 කදී රමේෂ්ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee