ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (23 වැනිදා) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ විය. කණ්ඩායම් 8 ක් අතර පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ශූරතාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.
ඉකුත් වසරේ පරිදිම තරග වදින කණ්ඩායම් අතර ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කණ්ඩායම් 2 බැගින් තරග වදිනු ලබන අතර ඊට අමතරව නාවික හමුදාවෙන්, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, සීනීගගම ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය තරග වදින සෙසු කණ්ඩායම් වෙති. මෙම තරගාවලිය ලබන අප්‍රේල් මස 09 වැනිදායින් අවසන් වනු ඇත.
ඒ අනුව අද දිනයේදී යුද හමුදා ‘ඒ’ පිල සහ කෝල්ට්ස් පිල පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේද, ගුවන් හමුදා ‘ඒ’ සහ යුද හමුදා ‘බී’ අතර කටුනායක ගුවන් හමුදා පිටියේදීද, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ‘බී’ කණ්ඩායම අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදීද සහ හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත.
ගිය වසරේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ලීග් තරගාවලියේ පෙරමුණට පැමිණෙමින් නාවික හමුදා කණ්ඩායම ශූරතාව දිනා ගනිද්දී එම සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම අනුශූරියන් ලෙස පත්විය.