slc
logo
Home   |    News
ජූලි 16, 2022
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පීඩනය වැඩි කරති

sinhala editor

අවසන් කඩුලු 2 ඇතුළත ලකුණු 89 ක් රැස් කරගැනීමට දිනේෂ් චන්දිමාල්, මහීෂ් තීක්ෂණ සහ කසුන් රජිත සමත්වීම නිසා පාකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (16 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කුණු 222 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

පළමු කඩුලු 8 ම ලකුණු 133 ක් ඇතුළත බිඳ වැටුණත් පසුපෙළින් චන්දිමාල්ට එක්වුණු මහීෂ් සහ කසුන් ප්‍රමාණවත් නොවුණත් ශ්‍රී ලංකාවට සැනසිලිදායක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගෙන ගියහ. තේ පානයෙන් ටික වේලාවකට පසු ශ්‍රී ලංකා ඉනිම හමාර වුණු අතර දිනය හමාර වන තෙක් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 18 දී පාකිස්තානු පිලේ කඩුලු 2 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. දිනය අවසන් වන විට පාකිස්තානු පිල ලකුණු 24 ක් ලබා පළමු ඉනිමේ තවත් ලකුණු 198 ක් පිටුපසින් වේ.

කසුන් රජිත සහ ප්‍රභාත් ජයසූරිය විසින් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට සමත්වීම නායක බාබර් අසාම්ටත් අසාර් අලීටත් පන්දුවට පහර දීමට පැමිණීමට සිදුවිය. තරගය නිමා කරන විට අසාර් අලි ලකුණු 03 ක් සහ බාබර් අසාම් ලකුණක් ලබා  කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා බවට පත් වුණු දිනේෂ් චන්දිමාල් ලකුණු 76 ක් ලබා ගත්තේය. 8 වැනි කඩුල්ලත් මුලු ලකුනු සංඛ්‍යාව 133 දී බිඳ වැටුණු නමුත් එහිදී මහීෂ් තීක්ෂණට එක්වූ චන්දිමාල් ලකුණු 44 ක සබඳතාවක් එක් කරද්දීි ඉන් 36 ක්ම තම පිත්තෙන් වාර්තා කර ගත්තේය. ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට යෑමේදී චන්දිමාල් මුලු ලකුණු සංඛ්‍යාව 177 ක්ව තිබියදී දැවී ගියද 10 වැනි කඩුල්ලට එක් වූ කසුන් රාජිත සහ මහීෂ් තීක්ෂණ ලකුණු 45 ක් එක් කළහ. අවසන් පිතිකරුවා ලෙසින් තීක්ෂණ ලකුණු 38 කදී දැවී යන විට පන්දු 65 කට මුහුණ දී සිටියේය. හයේ පහරක් සහ හතරේ පහර 4 කින් තීක්ෂණ ඉනිම සරසා ගනිද්දී සිය ඉනිම නොබිඳිව තබා ගත් කසුන් රජිත පන්දු 32 කදී ලකුණු 12 ක් ලබා ගෙන සිටියේය.

පන්දු යැවීමේදී ශහීන් අෆ්රිඩි ලකුණු 58 කට කඩුලු 4 ක් දවා ගනිද්දී හසන් අලී සහ යසීර් ෂා කඩුලු 2 බැගින් බිඳ හෙළූය.

ලකුණු 08 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනකු දවා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වීම නිසා මුල් සැසියේ පූර්ණ වාසිවාසිය සංචාරකයින් සතු විය. ගාල්ල තණතීරුව පළමුව පන්දුවට පහර දීමේදී වැඩි වාසියක් ලබා දෙන බව සාමාන්‍ය තත්ත්වය වුවත්, තරගය මුලුමනින්ම කණ පිට හරවා ගත් යසීර් ෂා ප්‍රමුඛ පාකිස්තානු පන්දු යවන්නෝ දිවා විවේකය සදහා නතර කරන විට ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක් ලකුණු 80 ක් ඇතුළත දවා ගැනීමට සමත්වී සිටියහ.

දිමුත් කරුණාරත්න වේලාසනම දැවී ගියත් දෙවැනි කඩුල්ලට එක්වූ ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත වූහ. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 60 දී කුසල් මෙන්ඩිස් දවා ගැනීමට යසීර් ෂා සමත්වීමත් සමඟ සියල්ල කණ පිට හැරිණ. ලකුණු 49 ක දෙවැනි කඩුල්ලේ සබඳතාවද බිද වැටෙමින් මෙන්ඩිස් දැවී යෑමත් දිවා විවේකයට තරගය නතර කිරීමට සදහා ගතවූ මිනිත්තු කීපයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 80 කට කඩුලු 4 ක් ලෙසින් සටහන් විය.

මාස 11 කට පසු පාකිස්තානු ටෙස්ට් පිලට කැදවීම් ලැබුණු යසීර් ෂා, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගනිමින් පළමු සැසියේ ප්‍රධානම හානිය කරන ලද පන්දු යවන්නා බවට පත්වූවේය.

විටින් විට කණ්ඩායමටත්, එළියටත් විසිවුණු ඕෂධ ප්‍රනාන්දුට කණ්ඩායම තුළ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා අද දිනයේ හොද අවස්ථාවක් නිර්මාණය වී තිබුණි. එහෙත් කඩුල්ලට ඈතින් ඇදී ගිය පන්දුවට පිත්ත පමණක් හුවා දැක්වීම නිසා, ඔහු කඩුල්ල අහිමි කර ගත්තේ ලකුණු 35 ක් ලබා සිටියදීය. පන්දු 49 ක් පුරා විහිදුණු ඕෂධගේ ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් විය.

ඔස්ට්‍රේලියානු තරග සංචරයේ පැවැති ටෙස්ට් තරග 2 ට ඕෂධඇතුළත් නොවුණත් පළමු තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සහ දෙවැනි තරගයේදී පැතුම් නිස්සංකට කොවිඩ් ආසාධනය වීම නිසා පන්දුවට පහර දීම සදහා ආදේශක ක්‍රීඩකයා බවට ඕෂධ පත්විය. එහෙත් ඔහුට පළමු ටෙස්ට් තරගයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි – (ඕෂධ ප්‍රනාන්දු 35, දිමුත් කරුණාරත්න 01, කුසල් මෙන්ඩිස් 21, ඇන්ජලෝ මැතිව්ස් 00, දිනේෂ් චන්දිමාල් 76, ධනංජය ද සිල්වා 11, නිරෝෂන් දික්වැල්ල 04, රමේෂ් මෙන්ඩිස් 11, ප්‍රභාත් ජයසූරිය 03, මහීෂ් තීක්ෂණ 38, කසුන් රජිත (නොදැවී) 12, ශහීන් අෆ්රිඩි 58/4, යසීර් ෂා 66/2, හසන් අලී 23/2)

පාකිස්තානය පන්දුවාර 18 කදී කඩුලු 2 ට ලකුණු 24 යි – (අබ්දුල්ලා ශෆීක් 13, ඉමාම් උල් හක් 02, අසාර් අලී (නොදැවී) 03, බාබර් අසාම් (නොදැවී) 01, කසුන් රාජිත 11/1, ප්‍රභාත් ජයසූරිය 02/1)

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

USD United States (US) dollar