slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2022
ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට

sinhala editor

ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අද (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරග අවස්ථාව සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගියේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

මෙම ජයග්‍රහණයත්  සමඟ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ඉඩ කඩක් වෙන් වද්දී ඉන්දියානු කණ්ඩායම අවධානම් සහගත තත්ත්වයක පත්ව සිටියි. ඒ අනුව ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සදහා ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ජය ගතුයුතු වන අතරම පාකීස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයද ශ්‍රී ලංකාව ජයගත යුතුය. එසේ වුවහොත් ශුද්ධ ලකුණු වේගය අනුව අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීම සඳහා සුළු අවස්ථාවක්  ඉන්දියානු පිලට හිමි වනු ඇත.

කෙසේ වෙතත් හෙට  (07 වැනිදා) පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර තරගයෙන් පාකිස්තානය ජය ගැනීමට සමත් වුවහොත් අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් වනු ඇත.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 64 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වූ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 18 කදී වාර්තා වුණු ශානකගේ ලකුණු 33 ක ඉනිම සඳහා හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වද්දී රාජපක්ෂ පන්දු 17 කදී ලකුණු 25 ක් ලබා ගත්තේය.

ඉන්දීය පන්දු යැවීම තුට්ටුවකට මායිම් නොකළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 57 ක් රැස් කළහ. එතැකින් නොනැවතුණු ඔවුහු පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 97 ක් දක්වා ඉහළ දමන ලද්දේ පන්දු 67 ක් පමණක් වැය කරමිනි. පිත්තෙන් කැපී පෙනුණු නිස්සංක පන්දු 37 කදී ලකුණු 52 ක් රැස් කළේය.  

පෙර තරග වලට සාපේක්ෂව හොඳින්ම පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රභල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාවේදී ලකුණු 173 කට නවතාලීමට සමත්විය. පන්දුවාර 4 කදී ලකුණු 24 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත් වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක ඉන්දීය පිතිකරුවන්ට වැඩිම හිසරදයක් වුණු පන්දු යවන්නා බවට පත්වූවේය.

මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 11 දී බිද දැමීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ. මෙවර තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක 2 ක් වාර්තා කරමින් පිතිකරුවකු ලෙස හොඳ රිද්මයක් ගොඩ නඟා‌ගෙන සිටි විරාත් කෝලිව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මධුශංක සමත්වූවේය. කඩුල්ල තුළට සියුම් ලෙස දෝලනය වී ආ පන්දුවට දැවැන්ත පහරක් එල්ල කිරීමේදී එය මුලු කෙළින්ම කඩුල්ලේ වැද්දවූ මධුශංක විස්සිය-20 තරග පිටියේ වැඩිම සාමාන්‍යයක් සහිත පිතිකරුවාව දවා ගනිමින් සිය  තරග දිවියේ හොඳම පන්දු යැවීමට සාර්ථක අඩිතාලමක් එක් කර ගත්තේය.

ඉනිම ආරම්භය එසේ අපහසුතාවයට පත් වද්දී ලකුණු 40 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව දසුන් ශානක අතින් ගිලිහී යෑමෙන් වරම් ලබාගත් රෝහිත් ෂර්මා පන්දු 41 කදී ලකුණු 72 ක් දක්වා සිය ඉනිම ඉහළ දමා ගත්තේය. ෂර්මාට එක්වූ සූර්යකුමාර් යාදව් පන්දු 58 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම ගොඩ නඟමින් සිටියදී ඊට චාමික කරුණාරත්න එරෙහි විය. කරුණාරත්නගේ පන්දුවකට අපර් කට් පහරක් එල්ල කිරීමට යෑමේදී පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් දීම නිසා ෂර්මාගේ වටිනා ඉනිම නිමාවට පත්විය.

අනතුරුව පන්දුවට අතට ගත් දසුන් ශානක යාදව්ව දමා ගනිමින් යළිත් ශ්‍රී ලංකා පිල වෙත දරගය රැගෙන ආවේය. ඉන්දීය පිලේ නවතම බලාපොරොත්තුව බවට පත්ව සිටින හර්දික් පාණ්ඩ්‍යා දසුන්ගේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියෙ ලකුණු 17 ක් ලබා සිටියදීය. මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඔහුට කඩුල්ල අහිමි විය. අද දිනයේ සුවිශේෂීතම සිදුවීම වූයේ දීපක් හූඩාගේ උඩ පන්දුවයි. ශානකගේ පන්දුවක් හමුවේ ෂෝර්ට් තර්ඩ්මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් මදුශංක උඩ පන්දුවක් රැක ගැනීම නිසා හූඩා දැවී ගියද ඔය දසුන් යැවූ එකම පන්දුවාරයේ දෙවැනි බවුන්සර් පන්දුව වීම හේතුවෙන් එය නිපන්දුවක් ලෙසින් සටහන් විය. තෙවැනි විනිසුරුවරයාගේ සහාය ඇතිව ලබා ගන්නා ලද් එම තීරණයේදී හූඩාට තවදුරටත් පිටියේ රැඳී සිටීමට පමණක් නොව ෆ්‍රී හිට් පන්දුවක් ලෙසින්ද පහර දීමේ අවස්ථාව උදා වූවේය.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee