ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතිය ලෙසින් සැලකෙන T10 ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ඒ අනුව ලංකා T10 ක්‍රිකට් තරගාවලිය දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් හා ලොව පුරා ජනප්‍රිය T-Ten Global Sports ආයතනය අත්වැල් බැඳ මෙම තරගාවලිය සංවිධානය කරන අතර, ඒ පිළිබද මාධ්‍ය හමුවක් කොළඹ සිනමන් ලේක් සයිඩ් තරු පහේ හෝටලයේදී ඊයේ (20) පැවැත්විණි. මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ඩුබායි පිහිටි T-Ten Global Sports ආයතනයේ සභාපති සාජී උල් මුල්ක් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා හා T-Ten Global Sports ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් කන්නා යන මහත්වරු ද එක්ව සිටියහ.
මෙම ලංකා T10 ක්‍රිකට් තරගාවලියට පිරිමි කණ්ඩායම් 6ක් හා කාන්තා කණ්ඩායම් 4ක් එක්වන අතර එක් පිරිමි කණ්ඩායමකට ලොව අති දක්ෂ විදෙස් ක්‍රීඩකයන් 6ක් හා දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් 10ක් ඇතුලත් කෙරේ. එවැනි ව්‍යුහාත්මක භාවයකින් ලංකා T10 කාන්තා ක්‍රිකට් තරගාවලිය ද සැලසුම් කොට ඇත. කොළඹින් පිටත ක්‍රිකට් ප්‍රේමීන්ගේ ආශ්වාදය උදෙසා ලංකා T10 ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට හා මහනුවර කේන්ද්‍ර කොට දින 12ක් පුරා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
වේගවත්ම ක්‍රිකට් තරග ආකෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. “ අපගේ වාර්ෂික ක්‍රිකට් දින දර්ශනයට ලංකා T10 ක්‍රිකට් තරගාවලිය විශිෂ්ට එකතු කිරීමක් වෙනවා. වෙනස් වෙමින් දියුණුවට පත්වන ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් පියවරකින් ඉදිරියට ගොස් කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන ක්‍රිකට් ආයතනය ලෙස අප සතුටට පත්වෙනවා. මේ අලුත්ම ලංකා T10 ක්‍රිකට් තරගාවලිය සඳහා T Ten Global Sports සභාපතිතුමා ඇතුලු කාර්ය මණෟඩලය විසින් කරන ලද කාර්යභාරය පිළිබඳව මගේ ප්‍රශංසාව හිමි වෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.
“විශේෂයෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් T 10 කෙටි ක්‍රිකට් ආකෘතියට ක්‍රීඩා කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. මෙම ලංකා T 10 තරගාවලිය ඔවුන් අතර වඩාත් ජනප්‍රිය වන බව විශ්වාසයි. එල්පීඑල් තරගාවලිය මෙන්ම රටට වැදගත් වන වාණිජ වටිනාකමක් ඇති කණ්ඩායම් සහ අනුග්‍රාහකයින් සමඟ මෙම T 10 ලීගය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරනවා. රටේ ආර්ථිකයට යහපත් වන ආකාරයෙන් මහා පරිමානයෙන් ඩොලර් ගෙන ඒමට මෙයින් හැකි වෙනවා“ එල්පීඑල් තරගාවලිය අගෝස්තු මාසයේ හා ලංකා T 10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම ලංකා T10 ක්‍රිකට් ලීග් තරගාවලිය ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සියලු දෙනාගේ ආකර්ෂණය දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විශ්වාසය පළ කළේය.
අති සාර්ථක ලංකා T10 තරඟාවලියක් පැවැත්වීම සඳහා දැනටමත් මූලික කටයුතු අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
“T10 ක්‍රිකට් ක්‍රීඩාව අපගේ නැගී එන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට හා ක්‍රීඩිකාවන්ට හොද අවස්ථාවක්. මේ තරගාවලියට ලෝකයේ හොදම ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදනවා. විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කිරීමට නම් ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථා තිබිය යුතුයි. ලංකා T 10 ක්‍රිකට් ලීග් තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් උද්යෝගයක් සහ විනෝදයක් ලබා දිය හැකි තරගාවලියක් වන බව විශ්වාසයි. Ten Sports කළමනාකාරීත්වයේ කොටසක් වන T – Ten Global Sports ආයතනය සමග මෙම තරගාවලිය ඉදිරිපත් කිරීමට හැකිවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල ශක්තියක් බව කිව යුතුයි“ මොහාන් ද සිල්වා මහතා පැවසීය.
අබුඩාබි හී පැවැති T10 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් බලය ජාත්‍යන්තර ක්‍රීඩකයින් 16,100 කට වඩා වැඩි ප්‍රමාණයක් වූ බව මෙම මාධ්‍ය හමුව ඇමැතූ T – Ten Global Sports ආයතනයේ සභාපති සාජී උල් මුල්ක් මහතා සදහන් කළේය. එයට වඩා විශාල ප්‍රගතියක් ලංකා T10 තරගාවලියේදී බලාපොරොත්තු වන බව ඒ මහතා පැවැසීය.
“ලංකා T 10 තරගාවලියේ දී වඩාත් ආකර්ෂණීය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දීප්තිමත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා කෙරෙහි අවධානය යොමු කිරීමට මේ තරගාවලිය හොද අවස්ථාවක්. අපගේ ක්‍රීඩා කළමනාකරණ සමාගම ක්‍රීඩාවේ කෙටිම ආකෘතිය සඳහා හොද අත්වැලක් සපයාදී තිබෙනවා. ක්‍රිකට් ලෝලීන් සහ තරගාවලියට එක්වන පාර්ශවකරුවන් ලංකා T 10 තරගාවලිය කෙරෙහි විශ්වාසයෙන් පසු වෙනවා “ සාජී උල් මුල්ක් මහතා පැවැසීය.
ලංකා T 10 තරගාවලිය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට ලැබීම ගැන සතුටු වන බවත්, මෙම ආකෘතිය දියත් කළ අයිසීසී පූර්ණ සාමාජිකත්වය ලැබූ පළමු රට ශ්‍රී ලංකාව බවත් ඒ මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 වසරේ දී T 10 තරගාවලිය ආරම්භ කළ බැවින් ලංකා T 10 තරගාවලිය සදහා මෙම හවුල්කාරිත්වය තවදුරටත් ගොඩනඟා ගැනීම බලාපොරොත්තු වන බවත් සාජී උල් මුල්ක් මහතා සදහන් කළේය.