slc
Home   |    News
දෙසැම්බර් 10, 2022
විස්සයි-20 සුපිරි හතරේ ශූරියන් තේරීම ඉරිදා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා සුපිරි හතර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා (දෙසැම්බර් 11) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ රෙඩ්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරගය පෙ.ව. 10.00 ට අාරම්භ වේ.

මීට දින කීපයකට ඉහතදී පවත්වා අවසන් කෙරුණු සුපිරි කණ්ඩායම් 4 අතර පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලද හර්ෂිතා සමරවික්‍රමගේත්, රෙඩ්ස් නායිකා නිලක්ෂි ද සිල්වාගේත් නායකත්වයෙන් යුතු කණ්ඩායම් දෙකම විස්සයි-20 තරගාවලියේදීත් එදිරිවාදීන් බවට පත්වීම විශේෂත්වයක් වේ.

ග්‍රේස් සහ රෙඩ්ස් කණ්ඩායම් දෙක මේ තරගාවලිය තුළ දී දෙවරක් මුණ ගැසුණු අතර ප්‍රථම තරගයේ දී රෙඩ්ස් කණ්ඩායම ලකුණු 22කින් ජය ලැබීය.  රෙඩ්ස් කඩුලු හතකට ලකුණු 123ක් (පන්දුවාර 20) ලැබූ අතර, ග්‍රේස් රැස් කළේ කඩුලු හතකට ලකුණු 101කි.  රෙඩ්ස් වෙනුවෙන් ප්‍රසාදිනී වීරක්කොඩි නොදැවී ලකුණු 60ක් ද නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 46ක් ද රැස් කළ අතර, ග්‍රේස් වෙනුවෙන් 19 හැවිරිදි විශ්මි ගුණරත්න ලකුණු 29ක් හා හංසිමා කරුණාරත්න ලකුණු 24ක් රැස්කළහ.

සිකුරාදා (9) මේ කණ්ඩායම් දෙක අතරම පැවැති මූලික වටයේ දෙවන තරගයේ දී රෙඩ්ස් කඩුලු පහකට ලකුණු 106ක් ලැබූ අතර, වර්ෂාව පතිත වූයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ග්‍රේස්ට පන්දුවාර 12ක දී ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 59කි.  ‍ඔවුන් පන්දුවාර 11.5ක දී කඩුලු දෙකකට ලකුණු 59ක් ලබා කඩුලු අටක ජයක් ලැබීය.  මේ තරගයේ දී ද රෙඩ්ස් වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා ලකුණු 33ක් රැස් කරද්දි ග්‍රේස් වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26ක් ලැබීය.

මේ නායිකාවන් දෙදෙනා මේ තරගාවලිය පුරාම කණ්ඩායම් දෙක වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ අතර, රෙඩ්ස් නායිකාව තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය ද වූවාය.  ඇය සිකුරාදා තරගයේ අවසාන පන්දුවේ දැවී යනවිට ලකුණු 33ක් ලබා සිටි අතර, ඊට පෙර ඉනිම දෙකේදීම නොදැවී අර්ධ ශතක රැස් කළහ.

මීට දින කිහිපයකට පෙර අවසන් වුණු එක්දින තරගාවලියේදීද ශූරතාව රෙඩ්ස් කණ්ඩායම දිනාගත් අතර, අවසාන තරගයේ දක්ෂම ක්‍රීඩිකාව ලෙස එම කණ්ඩායමේ මල්ෂා ෂෙහානිත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙස රෙඩ්ස් නායිකා නිලක්ෂි ද සිල්වාත් තේරිණි.

එම තරගාවලියේ එකම ශතකලාභිනිය වූයේ ද නිලක්ෂි ද සිල්වාය. සුපිරි හතර අවසාන තරග‍යේ දී මේ නායිකාවන් දෙදෙනාගේ දක්ෂතා ජයග්‍රහණය සඳහා බෙහෙවින් බලපානු ඇත. කෙසේ වෙතත් එක්දින තරගාවලියේ අවසන් මහ තරගයේදී ග්‍රේස් පිලට එරෙහිව රෙඩ්ස් පිල ලද ශූරතා ජයග්‍රහණයට, වාඩුව ගැනීම සඳහා ග්‍රේස් කණ්ඩායමට හෙට දිනයේදී හොද අවස්ථාවක් පවතිනු ඇත.  

ග්‍රේස් කණ්ඩායමේ පිතිකාරිනියන් අතර කැපී පෙනෙන්නේ නායිකා හර්ෂිතා සමරවික්‍රම හංසිමා කරුණාරත්න සහ විශ්මි ගුණරත්නය.  මල්ෂා රණතුංග, ඉනෝෂි ප්‍රනාන්දු කෞෂානි ජයවර්ධන පන්දු යවන්නියන් අතර දස්කම් දක්වති.  රෙඩ්ස් කණ්ඩායමේ නිලක්ෂි ද සිල්වා ප්‍රසාදිනී වීරක්කොඩි පන්දුවට පහරදීමේ දී දක්ෂතා පෙන්වන අතර මල්ෂා ෂෙහානි තුන් ඉරියව්වේ ම දස්කම්පායි.  තාරිකා සෙව්වන්දි තාරුකා ෂෙහානි රෙඩ්ස් පන්දු යැවීමේ දී කැපී පෙනෙති.

ග්‍රේස් කණ්ඩායම – හර්ෂිතා සමරවික්‍රම (නායිකා), අචිනි කුලසූරිය, දුලංගා දිසානායක, හංසිමා කරුණාරත්න, ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්‍රනාන්දු, කෞෂානි ජයවර්ධන, මල්ෂා රණතුංග, ‍ කෞෂානි නුත්‍යාංගා, නිලක්ෂනා සඳනි, ශිකාරි නුවන්ති, සුලේෂා සත්සරණි, තරුෂි රාජකරුණා, විෂාරා සෙව්වන්දි.

රෙඩ්ස් කණ්ඩායම – නිලක්ෂි ද සිල්වා (නායිකා), චේතනා විමුක්ති, හසිනි ලියනගේ, මධුශිකා මෙත්තානන්ද, මල්ෂා ෂෙහානි, මනුදි දුලන්සා, මෙත්මා හෙට්ටිආරච්චි, නවෝද්‍යා නෙත්මි, ප්‍රසාදිනී වීරක්කොඩි, සචිනි නිසංසලා, සඳනි සිල්වා, තාරිකා සෙව්වන්දි, තාරුකා ෂෙහානි.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest