slc
Home   |    News
ජනවාරි 12, 2023
කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

sinhala editor

ඉලක්කය ලකුණ 216 ක් වුවද සටන අත්නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 86 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දමමින් ඉන්දීය කණ්ඩායම අසීරුතාවයට පත් කළද ලොකේෂ් රාහුල්ගේ ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 4 ක පරාජයක් අත් විඳීමට අද (12 දා) රාත්‍රියේදී සිදුවිය.

කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ඉන්දීය කණ්ඩායම සපුරා ගන්නා ලද්දේ 44 පන්දුවාරයේ වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ධෛර්යවන්ත පන්දු යැවීම හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක්ද පරිත්‍යාග කිරීමද කැපී පෙනිණි.

15 වැනි පන්දුවාරයේදී කසුන් රජිත විසින් ශ්‍රේයාස් අයියර්ව (28) දවා ගන්නා විටත් ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 86 ක් ලෙස සටහන් විය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හැකි උපරිම පීඩනය ප්‍රතිවාදීන් වෙත යොමු කිරීමට සමත් වද්දී කල්පනාකාරීව පන්දුවට පහර දුන් ලොකේෂ් රාහුල් සහ හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාව බලාපොරොත්තු වූ ඉලක්කය වෙත කිසිදු කලබලයකින් තොරව කැඳවා ගෙන ගියහ.

ලකුණු 75 ක් වාර්තා වුණු 5 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මොවුන් දෙපළට කෙතරම් හිසරදයක් ගෙන දුන්නේද කිවහොත් ඒ සඳහා ඔවුනට පන්දු 119 ක් වැය කිරීමට සිදුවිය.

ඉන්දීය ජයග්‍රහණයට ලකුණු 55 ක් තිබියදී චාමික කරුණාරත්න විසින් හර්දික් පාණ්ඩ්‍යාවත්, ධනංජය ද සිල්වා විසින් අක්සාර් පටෙල් දවා ගැනීමට සමත්වීමත් නිසා නැවතත් තරගය දෙපිළටම විවර විය. එහෙත් සිය පරිණත භාවය මැනවින් භාවිතයට ගත් ලොකේෂ් රාහුල් පන්දු 103 කදි ලකුණු 64 ක් ලබා ඉන්දීය ජයග්‍රහණය සනාත කරන විටත් තවත් පන්දු 40 ක් සහ කඩුලු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

ඉන්දීය ඉනිම පීඩනයට පත් කිරීමේ පළමු වෙඩි මුරය, චාමික කරුණාරත්න විසින් එල්ල කළ අතර අනතුරුව ළහිරු කුමාර ශුබ්මන් ගිල් (21) සහ විරාට් කෝලි (04)ගේ කඩුලු දවා ගනිමින් ඉන්දීය ඉනිම අපහසුවට පත් කළේය. තරගය නිමා වන විට ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී වනිඳු හසරංග සිය පන්දුවාර 10 ලකුණු 28 ක් පමණක් දී නිමා කිරීමට සමත්වූවේය.

අද තරගයේදී එක්දින වරම් දිනාගත් නුවනිඳු ප්‍රනාන්දු පළමු ලකුණු ලබා ගැනීම සදහා පන්දු 11 ක් වැය කළත්  සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් ලද අර්ධ ශතකයත් කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 73 ක සම්බන්ධතාවත් නිසා 17 වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 102 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම සම්බන්ධතාව මත ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට හොඳින්ම අවස්ථාව තිබුණත් කුසල් මෙන්ඩිස්ව දවා ගැනීමට කුල්දිප් යාදව් සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා පිලේ කඩා වැටිණ.

එතැන් පටන් ලකුණු පුවරුවට ලකුණු 50 ක් එකතු වන අතරවාරයේදී කඩුලු කඩුලු 6 ක් ම බිඳ වැටීම නිසා කිසිසේත් අපේක්ෂා නොකළ අසීරුතාවයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේය. පිතිකරුවන්ට දැඩි ලෙස හිතකර වන ඊඩ්න් ගාඩ්න් තණතීරුවේදී පිතිකරුවන් 6 දෙනෙකු දැවී යෑම පිටුපස ඉන්දීය පන්දු යවන්නන්ගේ ඉලක්ක ගත පන්දු යැවීම ඉහළ මට්ටමක තිබුණා වගේම පන්දු රැකීමද අති විශිෂ්ඨ මට්ටමේ පැවැතිණ.

මංගල තරගයේදී වුවද ‌ඉතා හොදින් පන්දුවට පහර දුන් නුවනිදු ප්‍රනාන්දුව දවා ගැනීම වෙනුවෙන් ෂෝට් මිඩ් විකට් කලාපයේ පන්දු රැකී ශුබ්මන් ගිල්ගේ සුපිරි පන්දු රැකීමත් සහ කඩුලු රැකි ලෝකේෂ් රාහුල් වෙත පන්දුව භාරදීමත්, පන්දු රැකීමේ දක්ෂතාව ඉහළ තලයක පැවැතීමට උදාහරණ විය.

මෙම කඩා වැටීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 40 ක් නිමාවට වීමට මත්තෙන් ලකුණ 215 කට සීමා විය. හතරේ පහර 6 ක් සමග පන්දු 63 කදී නුවනිඳු රැස් කරන ලද අර්ධ ශතකය (50) හරුණු කොට ලකුණු 40 සීමාව හෝ ඉක්මවාලීමට එක් පිතිකරුවකුට නොහැකි විය. කෙසේ වෙතත් මංගල තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කරන ලද 6 වැනි පිතිකරුවා ලෙසින් තම නම වාර්තා පොත් අතරට එක් කිරීමට නුවනිඳු සමත්විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ ව සිටින 23 හැවිරිදි දකුණත් පිතිකරුවාට පෙර සුනිල් වෙත්තමුණි (53*), චාමර සිල්වා (55), අශාන් ප්‍රියන්ජන් (74), කුසල් මෙන්ඩිස් (51) සහ අෂේන් බණ්ඩාර (50) එක්දින වරම් දිනූ තරගයේදී අර්ධ ශතක වාර්තා කරන ලද පිතිකරුවෝ බවට පත්ව සිටියහ.

අංක 8 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දුනිත් වේල්ලාලගේ (32), චාමික කරුණාරත්න (17) සහ කසුන් රජිත (17*) ලකුණු රැස් කිරීම නිසා අවසන් කඩුලු 3 දී ලකුණු 63 ක් රැස් කිරීමට ශී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

මොහොමඩ් ශිරාජ්ගේ පිට පිට පන්දු දෙකකට හතරේ පහර 3 ක් එල්ල කළ අවිශ්ක ඊළඟ පන්දුවේදී කඩුල්ල බිඳී ම නිසා පිටියෙන් ඉවතට ගියේය. අනතුරුව 17 වැනි පන්දුවාරයේදී තමන් සතු වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ යුස්වේන්ද්‍ර චෙහල් වෙනුවට කණ්ඩායමට කැඳවන ලද කුල්දිප් යාදව් විසින් කුසල් මෙන්ඩිස්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේය. ඊට පන්දු 2 කට පසු ධනංජය ද සිල්වාව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට අක්සාර් පටෙල් සමත්වූවේය. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාජ් සහ කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී උම්රන් මලික් කඩුලු 2 ක් බිඳ හෙළීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest