slc
logo
Home   |    News
ජනවාරි 10, 2023
දසුන්ගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට ගෞරවාන්විත අවසානයක්

sinhala editor

ඉන්දියාවට එරෙහිව ගුවාහිටිහිදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක නොදැවී ලකුණු 108 ක් ලබා ගැනීමටසමත් වුවත්, එය ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ලකුණු 374 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉදිරි පෙළ පිතිකරුවන්ගේ දායකත්වය නොලැබී යෑම නිසා ලකුණු 67 ක පරාජයක් ඉන්දීය හමුවේ ශ්‍රී ලංකාව ලැබුවා පමණක් නොව තරගාවලිය 1-0 ක් ලෙස පසුපසටද තල්ලුවිණ.

විරාට් කෝලිගේ ශතකයත්, රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 143 ක ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 374 ක ඉලක්කයක් ලබා දීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබිණ. එය හඹා යෑමේදී ශ්‍රී ලංකා නායකයාට පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා කිසියම් සහායක් ලබා දුන්නද ඉන්දීය ඉලක්කය ඊට ගවු ගාණක් ඈතින් තිබීම නිසා ශ්‍රී ලංකාවට පරාජය අත්විය.

නියමිත පන්දුවාර 50 අවසනදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 306 න් නවතිද්දී සිය එක්දින තරග දිවියේ දෙවැනි ශතකය සපුරා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත්වී සිටියේය. ඒ පන්දු 88 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමඟින් රැස් කරන ලද නොදැවී ලකුණු 108 ක ඉනිමය.

දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට වාසි වනු ඇතැයි සිතා කාසියේ වාසියත් සමඟ ලකුණු හඹා යෑම ශ්‍රී ලංකා නායකයාගේ තෝරා ගැනීම වුවත් ඊට නිසි සාධාරණයක් එක් කිරීමට පන්දු යවන්නෝ අසමත්වූහ. ගුහාති තණතීරුවේ දී සිත්සේ පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවෝ ලබා දුන් ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ම ලකුණු 23 කදී දවා ගැනීමට වේග පන්දු යවන මොහොමඩ් ශිරාජ් සමත්විය. අවිශ්ක සහ කුසල් ශිරාජ්ගේ ගොදුරු බවට පත් වද්දී උම්රන් මලික් විසින් චරිත් අසලංකව දවා ගන්නා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 63 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය.

කළින් තරගය හඹාර වන පෙර නිමිති ලෙස එය සටහන් වුවත්, මැද පෙළින් පැමිණි ධනංජය ද සිල්වා (47), පැතුම් නිස්සංක (72) ශ්‍රී ලංකාවට යම් කිසි අස් වැසිල්ලක් ගෙන ආවද ජයග්‍රහණ සඳහා අවශ්‍ය දළ ලකුණු වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නායකයාට ලබා දිය යුතු සහාය කිසිවෙකුටත් ලබා දීමට නොහැකි විය. පැතුම් අද දිනයේදී සිය 5 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගත්තද ඒ සදහා ඔහුට පන්දු 80 ක් වැය වී තිබිණ. ලකුණු 374 කට වඩා ඉලක්කයක් හඹා යෑමේදී පැතුම් විසින් රඳවා ගන්නා ලද වේගය වූයේ 90.00 කි. ධනංජය ද සිල්වා පන්දු 40 කදී ලකුණු 47 ක් රැස් කළත් ඔහුට දීර්ඝ ඉනිමක් කරා යෑමේ අවස්ථාව මොහොමඩ් ශාමි ලබා නොදුන්නේය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමට පැමිණ සිටියද චාමිකටත් අද දිනයේදී පිතිකරුවකුගේ කාර්යය භාරය ඉටු කිරීමට නොහැකි විය. ඔහු ලකුණු 14 ක් ලබා 8 වැනි පිතිකරුවා ලෙස දැවී යනවිට ලකුණු පුවරුව 206 ක් ලෙසින් සටහන් විය. එහෙත් නායක දසුන් ශානකට එක් වුණු කසුන් රජිත පිතිකරුවන් යැයි සම්මත පිරිසට ආදර්ශයක් ගෙන දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 50 අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ජයග්‍රහණය කෙසේ වෙතත් නායකයාට ශතකය කරා යෑමේ දොරගුරලු විවර කර දෙමිනි.

9 වැනි කඩුල්ලට එක් වුණු දසුන් සහ රාජිත දෙදෙනාගේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 100 කි. එය එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු විසින් ගොඩනංවන ලද හොඳම සම්බන්ධතාව ලෙසින් සටහන් විය. පන්දු 73 කදී ගොඩ නැංවුණු මෙම සම්බන්ධතාවයේදී දසුන් පන්දු 54 කදී ලකුණු 88 කින් දායකවද්දී රජිතගේ දායකත්වය පන්දු 19 කදී ලකුණු 9 ක් විය.  තරගයේ පරාජය වළකාලීමට තරම් එම සම්බන්ධතාවය ප්‍රමාණවත් නොවුණද පරාජයේ පරතරය මෙන්ම ගෞරවාන්විතව තරගය නිමාකර ගැනීම සඳහා එම සම්බන්ධතාව ශ්‍රී ලංකාවට වටිනාකමක් එක් කළේය.

කඩුලු දැවී යෑම නිසා ඉනීමේ ආරම්භය සෙමින් පටන් ගත් දසුන් මුල් ලකුණු 20 සදහා පන්දු 34 ක් වැය කළේය. පසුව තම 50 වැනි ලකුණු මුහුණ දුන් 50 වැනි පන්දුවේදීම රැස් කරගත් දසුන් ශතකය තරගය නිමාවීමට පෙර පන්දුවේදී වාර්තා කළේ මොහොමඩ් ශාමිගේ පන්දුවක් හතරේ සීමාවාට හරවා යවමිනි. දසුන්ගේ ශතකය සම්පූර්ණවනවාත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 300 ද සටහන් වීම කැපී පෙනිණ.

ශතකය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකා නායකයාව මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට මොහොමඩ් ශාමි උනන්දු වුවත්, එයට ඉන්දීය නායක රෝහිත් ෂර්මා හරස්වීය. මේ නිසා දසුන්ට ශතකය කරා යෑමට අවස්ථාව ලැබුණා විනා නැතිනම් ඉනිම ලකුණු 98 දී නිමාවීමට ඉඩ තිබිණ.

කෝලි විසින් අද රැස් කරන ලද්දේ ඔහුගේ එක්දින තරග දිවියේ 45 වැනි ශතකය විය. පන්දු 80 කදී ශතකය සපුරා ගත් කෝලි දැවී යන විට පන්දු 87 කදී ලකුණු 113 ක් රැස් කරකගෙන සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව කෝලි ලද 9 වැනි ශතකය ලෙසින්ද සටහන් වුණු මෙම ශතකය එක් කණ්ඩායමකට එරෙහිව පිතිකරුවකු රැස් කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාවද සම කරවන්නක් විය. එම වාර්තාවට මීට පෙර හිමිකම් කියන ලද්දේ ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සහ විරාට් කෝලිම වන අතර එහිදී පිළිවෙළින් ඔස්ට්‍රේලියාවට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහිව රැස් කරගෙන තිබිණ. මෙම ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ලකුණු 52 ක් සහ 81 ක් ලබා සිටියදී උඩ පන්දු 2 ක් ලබා දුන්නද ඒ අවස්ථා දෙකම කුසල් සහ නායක දසුන් අතින් ගිලිහී ගියහ.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee