slc
logo
Home   |    News
ජනවාරි 12, 2023
දෙව්මි විහංගාගෙන් කඩුලු ත්‍රිත්වයක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා පිලට හිමි දෙවැනි පුහුණු තරගය වූ ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන්ද කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම ප්‍රධාන තරගාවලියට අපරාජිතව අවතීර්ණ වීමට ජනවාරි 11 වැනිදා රාත්‍රියේ සමත්වූවේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 16.3 කදී ලකුණු 87 කට සීමා කිරීමට ශ්‍රී ලකා පන්දු යවන්නනියෝ සමත්වූහ. එහිදී කැපී පෙනුණු දෙව්මි විහංගා කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ

තරගයේ 10 වැනි පන්දුවාරය යැවූ දෙව්මි තෙවැනි පන්දුවේදී කේ. ෆ්‍රෙසර් ද, සිව්වැනි පන්දුවේදී එම්. පටන් ද සහ පස්වැනි පන්දුවේදී ඊ. ටකර්වද දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවාය. ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පැමිණ සිටින පිට දග පන්දු යවන දෙව්මිගේ දක්ෂතාව ප්‍රධාන කොට පන්දුවාර 4 දී ලකුණු 17 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් බිද හෙළීමටද ඈ සමත්වූවාය. ඊට අමතරව විදුෂිකා පෙරේරා කඩුලු 4 ක් සහ විහාරා සෙව්වන්දි කඩුලු 2 ක් දවා ගත්හ.

ලකුණු හඹා යෑමේදී පෙරමුණ ගත් නායිකා විශ්මි ගුණරත්න පන්දු 54 කදී ලකුණු 39 ක් ලබා ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියාය. ඇයගේ ඉනිම හතරේ පහර 3 කින් පමණක් සමන්විත විය. ඇයට අමතරව මනුදි නානායක්කාර පන්දු 34 කදී ලකුණු 17 ක් ලබා තරගය ජය ගැනීම සදහා නායිකාවට සහාය දැක්වූවාය.

මෙම තරගයට පෙර ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරගය වූ එක්සත් අරාබි එමීර් පිලට එරෙහි තරගයෙන්ද ලකුණු 52 ක ජයක් වාර්තා කළ අතර එම තරගයේදීද දෙව්මි විහංගා ලකුණු 04 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්වූවාය.

ස්කොට්ලන්තය පන්දුවාර 16.3 කදී ලකුණු 87 යි – (ඩී. කාටර් 16, එම්. ෆයිසාල් 13, දෙව්මි විහංගා 17/4, විදුශිකා පෙරේරා 18/3, විහාරා සෙව්වන්දි 11/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 91 යි – (විශ්මි ගුණරත්න 38*, මනුදි නානායක්කාර 17*)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee