slc
logo
Home   |    News
ජනවාරි 7, 2023
ධනාත්මක බලාපොරොත්තු රැගෙන බාළිකාවෝ ලෝක කුසලානයට යති

sinhala editor

By Chamila Karawita

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකාවන් වෙනුවෙන්  වන ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිල හොඳ සූදානමකින් පසුවන බව එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණී ශෂිකලා සිරිවර්ධන සඳහන් කර සිටියාය.

අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි 06 වැනිදා පස්වරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය. එහිදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පුහුණුකාරිණිය,දක්ෂතාවය මෙන්ම මානසික මට්ටම අතින්ද තම කණ්ඩායම ඉතා හොද සූදානමකින් පසුවන බවද සඳහන් කර සිටියාය.

ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා බාළිකා පිල 2022 වසර අවසානයේදී ඉන්දියාවේ සිව්කොන් තරගාවලියකට සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යෙදූ අතර එම තරගාවලියේදී ශ්‍රී ලංකා‌ බාළිකාවෝ බටහිර ඉන්දීය කොදෙව් බාළිකා පිල පරාජයට පත් කිරීමට සමත්වූහ.

ඉන්දීය බාළිකා කණ්ඩායම් 2 ක් ද සහභාගිවුණු එම තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද එම ජයග්‍රහණය ඉදිරි ලෝක කුසලාන තරගාවලියට මනා පිටිවහලක් වන බවද ප්‍රධාන පුහුණුකාරිණිය මෙහිදී අවධාරණය කර සිටියාය.

“අපි පළමුවෙන්ම තරග වැදි ජාත්‍යන්තර තරගාවලියෙදිම බටහිර ඉන්දීය කොදෙව් වගේ කණ්ඩායමක් පරාජයට පත් කිරීමට හැකියාව ලැබුණා. මම විශ්වාස කරනවා එම ජයග්‍රණයත් සමඟ එයාලගේ මානසිකත්වය සහ දක්ෂාතවය ගොඩක් උපරිමයෙන් දෙන්න අවශ්‍ය වෙලාවෙදි දෙන්න පුලුවන් කණ්ඩායමක් කියලා” යැයි ශෂිකලා සදහන් කළාය.

ඉන්දියාවේ පැවැති එම සිවුකොන් තරගාවලිය අවසානයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා බාළිකා පිලට පාසල් තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද සුපර් 4 ප්‍රධානතම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව උදාවුණු බැවින් ජාතික කණ්ඩායමක් ලෙස දෙසැම්බර් මස මැද කාලයේ සිට පුහුණුවීම් අරඹනු ලැබීය.

මෙම තරගාවලිය සඳහා විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම කණ්ඩායමට කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, කලුතර යන දිස්ත්‍රික්ක වලින් ක්‍රීඩිකාවෝ තේරී පත්ව සිටිති.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගෙන පුහුණු තරග ගණනාවක් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම අපි අවුරුදු 15 න් පහළ බස්නාහිර පළාත් පිරිමි ළමුන් සමඟ වගේම ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම සමග පුහුණු තරග ගණනාවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වුණා. ඉතිං මේ සියල්ලත් එක්ක මම විශ්වාස කරනවා මේ ලෝක කුසලාන තරගාවලිය සදහා මගේ කණ්ඩායම ඉතා හොද ශරීර සහ මානසික සූදානමකින් සිටිනවා කියලා” යැයි ශෂිකලා වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

‌මෙම ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා බාලිකා පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී පළමුව ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ තරග වදිනු ඇත. අනතුරුව බංග්ලාදේශය සහ ප්‍රබල ඔස්ට්‍රෙලියාව එම කාණ්ඩයේ ශ්‍රී ලංකා‌ පිලේ සෙසු ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ජනවාරි 14 වැනිදා පැවැත්වෙන අතර දෙවැන්නා 16 වැනිදාත් තෙවැන්න 18 වැනිදාත් පැවැත්වෙනු ඇත.

මේ අතර කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන විශ්මි ගුණරත්න සදහන් කර සිටියේ ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට අවස්ථාව උදාවීමද තමා භාග්‍යයක් කොට සලකන බව සඳහන් කර සිටියාය.

ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක ලෙසද කටයුතු කර ඇති විශ්මි පාසල් තරග පිටියේ අඩුම වයසින් ශතකයක් රැස් කිරීමට සමත් ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය. මේ නිසාම ඇයට ජාතික කණ්ඩායමේ දොර විවර විය. ඒ හැරුනු කොට පාසල් මට්ටමේ දක්ෂතා සහ වාර්තා කීපයක්ම විශ්මිගේ නම ඉදිරියෙන් සටහන්ව තිබේ.

“අපිට මේ තරගාවලිය සදහා කණ්ඩායමක් විදියට පුහුණුවීම් කරන්න තිබුණු කාලය ටිකක් අඩුයි. නමුත් ඒ කාලය ඇතුළත ‌අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කණ්ඩායමේ දක්ෂතා ගැන කතා කළොත් පිතිකරණය සහ පන්දු යැවීම් අංශ දෙකම හොද තත්ත්වයක තියෙනවා. එ වගේමයි පන්දු රැකීමත්. වඩාත් වැදගත් දේ තමයි එකමුතු කම. මම විශ්වාස කරනවා ක්‍රීඩිකාවන් සියලුම දෙනා දක්ෂතා අතරට පැමිණිලා ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කරන්න අපිට හැකියාව තියෙනවා කියලා” යැයි ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පැමිණි නායිකාව වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

අවු. 19 න් පහළ බාලිකා පිල – විශ්ම ගුණරත්න (නායිකා – ගම්පහ රත්නාවලී), දහමි සෙනෙත්මා (කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය), උමායා රත්නායක (ගම්පහ රත්නාවලි), රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ), රශ්මිකා සෙව්වන්දි (මාතර අනුර), දෙව්මි විහංගා (ගම්පහ රත්නාවලී) මනුදි නානායක්කාර (මොරටුව වේල්ස් කුමරි), සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ), පමෝදා ශයිනි (මාතර අනුර), විදුශිකා පෙරේරා (ගම්පහ රත්නාවලී), දුලංගා දිසානායක (නුගේගොඩ අනුලා), රශ්මි සංජනා (මාතර අනුර), නෙත්මි සේනාරත්න (වාද්දුව මැදිමහ), හරිනි පෙරේරා (මොරටුව වේල්ස් කුමරි) විහාරා සෙව්වන්දි (රත්ගම දේවපතිරාජ)

තරග කාල සටහන

ජනවාරි 14  – ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමඟ

ජනවාරි 16 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ

ජනවාරි 18 – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සමඟ

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest