slc
Home   |    News
ජනවාරි 6, 2023
සුපිරි ජයකින් දසුන් ඇතුළු පිරිවර එකට එක කරති

sinhala editor

විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සමඟ දසුන් ශානක දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතාවය හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ප්‍රබල ඉන්දියාව පරදවා ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05 දා) හැකියාව ලැබිණ. පුනේහි පැවැති මෙම තරගයේ ලද ජයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 206 ක් ලබා අසීරු ඉලක්කයක් ඉන්දියාව හමුවේ ලබා දුන් නමුත්, සත්කාරකයින් වූ නමුත්, සංචාරක පන්දු යවන්නන්ගේ බල පරාක්‍රමය හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී ඔවුනට රැස් කරගත හැකි වූයේ කඩුලු 8 කට ලකුණු 190 ක් පමණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව වාර්තා කිරීමත් සමඟ ඉන්දීය කණ්ඩායමක් ඔවුන්ගේ නිජ බිමේදී ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කරන ලද්දේ වසර 7 කට පසුව වීම කැපී පෙනෙයි.

පන්දුවෙන් දක්වන ලද දක්ෂතාවයට අමරතව පිත්තද අතට ගත් අක්සාර් පටෙල්, පන්දු 31 කදී වේගවත් ලකුණු 65 ක් ලබා ගනිමින් සූර්යකුමාර් යාදව් සමඟ හය වැනි කඩුල්ලට පන්දු 40 කදී වේගවත් ලකුණු 91 ක සම්බන්ධතාවක් පැවැත්වුවද ඊට වඩා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ උපක්‍රමශීලී වූහ.

මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 57 ක්ව තිබියදී පිටියට එක්කාසු වන වමත් – දකුණත් පිතිකරු යුගලය කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩ ගන්නා ලද්දේ ලකුණු 74 ක්ම හයේ පහර (9) සහ හතරේ පහර (5) එල්ල කරමිනි.

පිටිය සිසාරා එල්ල කරන ලද ‌පහරින් එකක් වැරදී යෑමෙන් යාදව්ගේ ඉනිම නිමාවට පත් වූයේ මදුශංකගේ පන්දුවක් හමුවේය. ඒ වනවිටත් පන්දු 36 කට මුහුණ දී සිටි යාදව් ලබා සිටි ලකුණු 51 සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් එල්ල කර තිබුණි. එහෙත් සටන අත්නොහළ අක්සාර් පටෙල් සහ ශිවම් මාවි යළිත් පන්දු 22 කදී ලකුණු 41 ක් රැස් කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාරයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 21 ක් තරම් අවම මට්ටමකට රැගෙන ඒමට ඉන්දියානුවන්ට හැකිවිය.

එහිදී පන්දුව අතට ගත් නායක දසුන් ශානක තෙවැනි පන්දුවේදී පටෙල්වද අවසන් පන්දුවේදී ශිවාම් මාවි (26) දවා ගනිමින් එම පන්දුවාරය නිමා කළේ ලකුණු 04 ක් පමණක් ලබා දෙමිනි.

මේ සියල්ලටම පෙර තරගයේ දෙවැනි පන්දුවාරයේදීම ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා කසුන් රාජිත වැඩි මෙහෙවරක් ඉටු කරන ලද්දේ එම පන්දුවාරය ඇතුළත ඉෂාන් කිෂාන් සහ ශුබ්මන් ගිල්ගේ කඩුලු දවා ගනිමිනි. එතැන් පටන් ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පිලේ පළමු කඩුලු 5ම ඉගුල්ලා දමන ලද්දේ පන්දුවාර 10 ක් අවසන් වීමට මත්තෙනි.

දෙවැනියට පන්දු යැවීම අසීරු පුනේ තනතීරුවේදී සත්කාරක නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා හැර සෙසු සියල්ලෝම පිත්තෙන් තම උපරිමය ලබා දුන්හ. ඒ අතරින් නායක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනුණි.

දසුන් අද දිනයේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන ලද්දේ මුහුණ දුන් 20 වැනි පන්දුවේදීය. ශිවාම් මාවගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් දසුන් සිය අර්ධ ශතකය සම්පූර්න කරන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකදී අඩුම පන්දු සංඛ්‍යාවකින් අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සියතට ගනිමිනි. මීට පෙර මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබුණේ මහේල ජයවර්ධන (2007 දී කෙන්යාවට එරෙහිව) සහ කුමාර් සංගක්කාර (2009 දී ඉන්දියාවට එරෙහිව)ය. ඔවුන් දෙපළ මෙම දස්කම දක්වා තිබුණේ මුහුණ දුන් 21 වැනි පන්දුවේදීය.

මේ අතර දසුන්ගේ ඉනිම ඉන්දියාවට එරෙහිව පිතිකරුවකු ලබාගන්නා ලද දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසින්ද අද වාර්තා පොත් අතරට එක් විය. මීට පෙර ඉන්දියාවට එරෙහිව අඩුම පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19 කින්) අර්ධ ශතකයක් රැස්කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු පිලේ කැමරන් ග්‍රීන් පමණි.

අවසන් පන්දුවත් තර්ඩ් මෑන් කළාපයෙන් හයේ පහරක් බවට පරිවර්තනය කර ගන්නා විටත් දසුන් පන්දු 22 කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 2 කින් සරසා ගනිමිනි.

දසුන්ගේ රංගනය නිසා අවසන් පන්දු 30 දී ශ්‍රී ලංකා පිලට ලකුණු 77 ක් ලබා ගැනීමට හැකියාව ලැබිණ. අවසානය පරිද්දෙන්ම ආරම්භයද සාර්ථක කර දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු පන්දුවාර 4 දී ලකුණු 47 ක් රැස් කර දුන්නේ ඉන්දීය වේග පන්දු යවන්නන් සිය උපරිම දෝලනය සහිතව පන්දු යොමු කරන අතර වාරයේදීය. අක්සාර් පටෙල් සහ යුස්වේන්ද්‍ර චෙහල් පැමිණීමත් සමග එම ලකුණු ගලා ඒමේ වේගය එක වරම අඩුවනු දක්නට ලැබුණි. මොවුන් දෙ‌දෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දු 48 දී ප්‍රතිවාදී පිතිකරුවන් ලබා ගැනීමට සමත්වූයේ ලකුණු 54 ක් පමණි. ඒ අතරතුර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3 ක්ද මොවුහු දවා ගත්හ.

දඟ පන්දු යවන්නන් හමුවේ අසීරුතාවයකට මුහුණ දුන්නද වේග පන්දු යවන්නන් තඹේකට මායිම් නොකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු සොයා ගියේ ඔරලෝසුවේ තප්පර කටුව කැරකෙනවාටත් වඩා වැඩි වේගයකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි.

මෙහිදී ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් ලබා දෙන ලද නෙිපන්දු 7 ද ශ්‍රී ලංකා පිලේ වාසියට නොසිටියාම නොවේ. ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් ක්‍රියාත්මක කරන ලද්දේ අර්ශ්දීප් සිං, උමර්න් මලික් සහ ශිවාම් මාවි වන අතර ඔවුන්ගේ පන්දුවාර 10 දී ලකුණු 138 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වීම කැපී පෙනුණහ. අනෙක් පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලබා දී තිබුණේ ලකුණු 68 ක් පමණි. දසුන්ට පෙර අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 31 කදී ලකුණු 52 ක්ද පැතුම් නිස්සංක පන්දු 35 කදී ලකුණු 35 ක්ද ලබා පළමු කඩුල්ලට ලකුණු 80 ක් එක් කර දුන්හ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest