slc
logo
Home   |    News
පෙබරවාරි 25, 2023
පසිඳු සූරියබණ්ඩාරගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවෙකු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ 23 හැවිරිදි පසිඳු සූරියබණ්ඩාර ගෝල් පිල වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක් පළමු ඉනිමට එක් කළේය. මෙයට පෙර කැන්ඩි පිලේ  ඔෂධ ප්‍රනාන්දු ලකුණු 201ක් ලබා ගෙන මෙවර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලෙස වාර්තා පොත් අතර සිටියේය.

ඔෂධ ප්‍රනාන්දු පසුකර ගිය කොළඹ රාජකීය විදුහලෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩක පසිඳු සූරියබණ්ඩාර පන්දු 341කට මුහුණදී හතරේ පහර 18ක් සමග නොදැවී ලකුණු 214ක් ලබා පැහැදිලි අනාගතයක් ඇති යොවුන් පිතිකරුවෙකු බවට සනාථ කළේය. ඊයේ (23) පළමු දිනට තරගය නතර කරද්දී පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 95ක් ලබා ශතකය ආසන්නයේ සිටි අතර, අද (24) උදෑසන ශතකය සම්පූර්ණ කළේය.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වෙන ගෝල් හා කැන්ඩි අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගෝල් පිල කඩුලු 9ක් දැවී ලකුණු 658ක් ලබා ඉනිම අත්හිටුවා කැන්ඩි පිලට අවස්ථාව ලබාදුනි. ඒ අනුව දෙවැනි දිනය නිමා වෙද්දී කැන්ඩි පිල කඩුලු 4කට ලකුණු 62ක් ලබා සිටීම හේතුවෙන් කඩුලු 6ක් අතැතිව ලකුණු 596ක් පසුපසින් සිටී.

කැන්ඩි පිලේ පළමු කඩුල්ල ලකුණු 7දී කසුන් විදුර ලකුණු 2කට, දෙවැනි කඩුල්ල ලකුණු 16දී සදුන් වීරක්කොඩි ලකුණු 1කට, තෙවැනි කඩුල්ල ලකුණු 37දී  ළහිරු උදාර ලකුණු 12කට හා සිව්වැනි කඩුල්ල ලකුණු 57දී සහන් ආරච්චිගේ ලකුණු 6කට දැවී යෑමෙන් දැඩි පීඩනයක් එල්ල විය. තරගයේ දෙවැනි දිනය නිමා වෙද්දී ලසිත් කෘස්පුල්ලේ පන්දු 29කදී හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 29ක් ලබා සිටින අතර, අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 2ක් ලබා සිටියහ.

ගෝල් පිල වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ පසිඳු සූරියබණ්ඩාර සමග 6 වැනි කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් සුමින්ද ලක්ෂාන් ගොඩනැගූ අතර සුමින්ද ලකුණු 74කට දැවී ගියේය. අනතුරුව පසිඳු සූරියබණ්ඩාර හා කවිෂ්ක අන්ජුල එක්ව 7වැනි කඩුල්ලට ලකුණු 110ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර, කවිෂ්ක පන්දු 66 කදී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමග ලකුණු 59ක් ලබා ගත්තේය.

ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ තරග දෙකේදී පිට පිට ශතක දෙකක් රැස් කරගත් 22 හැවිරිදි ෂොහාන් ඩී ලිවේරා ගෝල් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය.

පසුගිය සතියේ ජැෆ්නා පිලට එරෙහි තරගයේදී  ලකුණු 143ක් ලබාගත් ෂොහාන් ඩී ලිවේරා මෙම තරගයේදී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් විය. කැන්ඩි පිලේ දකුණත් පා දඟ පන්දු යවන සචිත්‍ර පෙරේරා එවූ පන්දුවකට කඩුලු රකින ළහිරු උදාර අතට උඩ පන්දුවක් දී ෂොහාන් ඩී ලිවේරා දැවී ගිය අතර, දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට දැවී ගියේය.

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ගෝල්, දඹුල්ල, ජැෆ්නා සහ කැන්ඩි කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටින අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගෝල් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන කැන්ඩි කණ්ඩායමද දඹුල්ල කණ්ඩායමට එරෙහිව ජැෆ්නා කණ්ඩායමද තරග වදිති.

තරගාවලියේ අවසන් මහ තරගය ලබන මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ගෝල් – පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 658යි (ඕවර් 160) – ෂොහාන් ඩී ලිවේරා 133‍, සංගීත් කුරේ 27, ලක්ෂාන් එදිරිසිංහ 49, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 214, දුනිත් වෙල්ලාලගේ 33, පැතුම් කුමාර 24, සුමින්ද ලක්ෂාන් 74, කවිෂ්ක අංජුල 59 ( අමිෂ් ද සිල්වා 77/1, ලසිත් ඇඹුල්දෙනිය 231/4, සචිත්‍ර පෙරේරා 123/2, සදුන් වීරක්කොඩි 28/1, ලසිත් කෘස්පුල්ලේ 23/1)

කැන්ඩි – පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු  62යි (ඕවර් 18) – ලසිත් කෘස්පුල්ලේ නොදැවී 29, ළහිරු උදාර 12 ( කවිෂ්ක අංජුල 13/2, මොහොමඩ් සිරාස් 26/1, සංගීත් කුරේ 3/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar