slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2023
ඇළහැරින් පැමිණ ජාත්‍යන්තරය ජයගත් ලකුණු මැෂිම – ළහිරු මදුශංක

sinhala editor

ඔහු මාතලේ දිසාවේ ඇලහැර මැණික් පුරවරයේ ජන්මය ලබා වසර 11ක් වනතුරුම එම ප්‍රදේශයේම අධ්‍යාපනය හැදෑරුවේ ද තම දෙමාපියන්ගේ කුඹුරු ගොවිතැනට ද අත්උදව් සපයමිනි.  තවත් වසර හත අටක් ගතවන විට මේ සිසුවා ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළේ දෛවෝපගත ලෙසිනි.

දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති ජැෆ්නා සහ ගෝල් අතර තරගයේ වැඩිම ලකුණු ලාභියා (194) වූයේ ඇලහැරින් පැමිණි ළහිරු මධුශංඛය.  ජැෆ්නා කණ්ඩායම නියෝජනය කරමින් අංක හත පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු ගෝල් කණ්ඩායමට එරෙහිව ලකුණු 194ක් රැස් කළේ පන්දු 238ක ට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර හයක් ද සමගිනි.

තුන් ඉරියව්වේ ම දක්ෂ ක්‍රීඩකයෙකු ලෙසින් මොහු වාර ගණනාවක් ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් දස්කම් පා ඇති අවස්ථාවන් ද ගණනාවකි.

2017 වසරේ ජනවාරි මස ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට ආන්දෝලනයකට ළක් කළ සිදුවීමක් වූයේ ද ළහිරුගේ පන්දු යැවී‍මකි.  මේ වකවානුව වන විට දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙයිස් පිතිකරුවකු ලෙස ලෝ පුරා නමක් දිනා සිටියේය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ 2017 වසර මුල දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඩු ප්ලේයිස් පිටපිට ම තරග තුනක දී තෙවරක්ම දැවී ගියේ ළහිරු මධුශංකගේ ප්‍රබල වේග පන්දු හමුවේය.

අගනුවරට පමණක් නොව මහනුවර නගරයටත් ඈතම දුෂ්කර ප්‍රදේශයක ගොවි පවුලකින් පැවැත ආ ළහිරු මධුශංඛගේ කතා පුවත පිට පළාත්වල දක්ෂ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට කදිම නිදසුනක්ය.

ඇලහැර, කලුගඟ අග්‍රබෝධි විදුහලේ පළමු සහ දෙවන වසරයන්හි ළහිරු අධ්‍යාපනය ලබන අවස්ථාවන්හි ඉගෙනුමට දක්වන විශේෂ කුශලතා දුටු ගොවියෙකු වූ ඔහුගේ පියා දැඩි පරිශ්‍රමයකින් පසු ඇලහැර කණිෂ්ට විදුහලට ඇතුලු කරගැනීමට සමත්විණි. පස්වන ශ්‍රේණියේ දී ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වු ළහිරුට වාසනාව උදාවූයේ ඊට සැතපුම් 25-30ක් දුරින් පිහිටි පළාතේ ලොකුම කොලීජියට (මාතලේ සාන්ත තෝමස්) ඇතුලු වීමටය.

අධ්‍යාපනය ලබන අතරතුරම ලෙදර් බෝලයට සහ පිත්තට වසරක් යනවිටම ඉක්මණින් හුරු වූ ළහිරු මධුෂ්ක පාසලේ අවුරුදු 13න් සහ 15න් පහළ කණ්ඩායම්වලට සුදුසුකම් ලැබුවේ නිරායාසයෙනි.  තවත් වසර දෙකක් ගතවන විට මොහු පාසලේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට  නැතිවම බැරි ක්‍රීඩකයකු බවට පත්විණි.

අන්තර් දිස්ත්‍රික් සහ පළාත් තරගාවලියන්හි කැපී පෙනුණු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවට කමයෙන් පත්වෙමින් සිටි ළහිරු 2011 වසරේ  ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට තෝරා ගන්නා විට මාතලේ දිසාවෙන් ලංකා 19න් පහළ කණ්ඩායමට තේරුණු එකම පාසල් සිසුවා බවට පත්විය.

එම වසරේ ඉන්දියාවේ විශාඛා පට්නම් නගරයේ පැවැති ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල සහභාගීත්වයෙන් පැවැති තරගාවලියේ දී කඩුලු 12ක් සහ ලකුණු 240ක් ලබා මොහු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට ද පත්විණි.  එහි අවසාන තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු පහතින් ඉන්දියාවට පරාජය වූවත් ළහිරු එම තරගයේදී ද කඩුලු හතරක් සහ ලකුණු 65ක් ලබා තම වගකීම් ඉටු කිරීමට වග බලා ගත්තේය.

2012 මැලේසියාවේ පැවැති 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගයාවලියට ද පසුව මොහු එක්විණි.  ඔස්ට්‍රේලියාවේදී දී ළහිරු කඩුලු 15ක් ලබා ලංකා 19න් පහළ ක්‍රීඩකයෙකු එම ලෝක කුසලාන තරගාවලියක ලැබූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව ද බිහි කළේය.  මේ වාර්තාව පසුගිය වසරේ බිඳ වැටුණේ දුනිත් වෙල්ලාලගේ කඩුලු 16ක් දවා ගැනීමෙනි.

2013 වසරේ එන්. සී. සී. ක්‍රීඩා සමාජයත් පසුව එහි නායකත්වයටත් පත් වූ ළහිරු 2014-15 බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම ද නියෝජනය කළේය.  මේ වන විට මොහු ශ්‍රී ලංකා නැගී එන සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් ද නියෝජනය කරමින් තරග කිහිපයකදී ම විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා දැක්වූයේ මව්බිමට කීර්තියක් ද අත්කර දෙමිනි.  2017 වසරේ සී. සී. සී. කණ්ඩායම නියෝජනය කළ අවස්ථාවේ ඔහු තුන් ඉරියව් දක්ෂතා දැක්වූයේ කඩුලු 20ක් සහ ලකුණු 470ක් රැස් කරමිනි.  2017 වසර ඔහුට අමතක නොවන ‍වසරක් වන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් පිට පිටම තරග තුනක දී දවාලමින් ජාත්‍යන්තර අවධානය ද යොමු කරගැනීමෙනි.

2019 වසරේ එංගලන්තයේ බ්ලැක් පූල් කණ්ඩායම නියෝජනය කළ ළහිරු එහිදී ද දස්කම් දැක්වූයේ කඩුලු 18ක් සහ ලකුණු 420ක් රැස් කරමිනි.   2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සිදුකරන ලද එක්දින සහ විස්සයි-20 කණ්ඩායමටද ළහිරු ලංකා පිලට ඇතුළත්ව සිටියේය. එම තරගාවලි දෙකම ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවේ පාකිස්තානු පිලට වසර ගණනාවකට පසු ඔවුන්ගේ නිජබිමේදීම පරාජය උරුම කර දෙමිනි.

ළහිරු සතුව තිබෙන සුවිශේෂී දක්ෂත්වක් වන්නේ ඔ්නෑම වේලාවක පන්දුව හයේ සීමාව වෙත යැවීමට ඇති හැකියාවයි. තිසර පෙරේරාගෙන්  පසු එවැනි වැඩිම හැකියාවක් ඇති පිතිකරුවා ලෙසින් නමක් දිනා සිටින ළහිරුව බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේද ‘ඇලහැර යෝධයා’ යන අන්වර්ථ නාමයෙනි. ළහිරුගේ දක්ෂතා නිසාම ඔහු 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් විය. එහෙත් එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල දකුනු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන ලද තරගාවලිය අතරතුර තුවාල ලැබීම නිසා අවාසනාවන්ත ලෙස ලොක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. හතරේ සීමාව ආසන්නයේදී පන්දුවක් නවතාලීමට ගන්නා ලද උත්සාහයේදී ළහිරුගේ උරහිසය සහ ගෙල අතර ප්‍රදේශයේ අස්ථි බිඳීමකට මුහුණ දුන්නේ පළමු වතාවට ලෝක කුසලාන අත්දැකීමක් ලබා ගැනීමට ඔන්න මෙන්න තිබියදීය.

ළහිරු මධුශංඛ ඇලහැර සිට මාතලේටත් පසුව ජාතික සහ ජාත්‍යන්තරයටත් යාමට අත්වැල් දුන් බොහෝ පිරිසකි.  මාතලේ පාසලේ දී සහය වූ සමන් සේනානායක පසුව පන්දු යැවීමේ දී අනුෂ සමරනායක, චම්පක රාමනායක, චමින්ද චාස්, රවීන් පුෂ්පකුමාර, රුමේෂ් රත්නායක, චමිල ගමගේ සහ නුවන් සොයිසාත් පන්දුවට පහරදීමේ දී හෂාන් තිලකරත්න, සුමිත්‍ර වර්ණකුලසූරිය, රෝයි ඩයස්, අවිශ්ක ගුණවර්ධන, රොමේෂ් කලුවිතාරණ සහ නවීඩ් නවාස් දැක් වූ සහයෝගය ඔහු කෘතවේදීව සිහිපත් කරයි.

‘මගේ ප්‍රියතම ක්්‍රිකට් ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්, කැමතිම විදේශීය ක්‍රීඩකයා බෙන් ස්ටොක්ස්, කැමතිම විදේශීය තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ ජැක් කලිස්” යැයි ළහිරු සදහන් කර සිටියි.

‘මගේ තාත්තාගේ ගම ඇලහැරයි.  මව ඒ කිට්ටුවම ලග්ගල පල්ලේගම කළුගඟයි.  විවේක ලැබෙන සෑම අවස්ථාවක ම මම ඔවුන් බැලීමට යනවා.  මා විවාහ වී සිටින්නේ මාතලේ නාගොල්ලේ යුවතියක් සමගයි.  මා මේ වන විට ශ්‍රී  ලංකාව වෙනුවෙන් 20 විස්ස, එක්දින තරග නියෝජනය කර තිබෙනවා.  මගේ අපේක්ෂාව දක්ෂතා හොඳින් දක්වල නැවතත් ජාතික කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් ලබා ගැනීමයි’ යනුවෙන් ළහිරු මධුශංඛ පවසයි.

 

  • බන්දුල මොල්ලිගොඩ

 

 

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee