slc
logo
Home   |    News
මාර්තු 5, 2023
දෙවැනි සිව්දින ශූරතාව දඹුල්ල සන්තකයට

sinhala editor

CHAMILA KARAWITA REPORTING FROM GALLE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) නිමාවට පත් වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනා ගනිමිනි. තරගයේ සිව්වැනි දිනයේදී ගෝල් පිලට එරෙහිව ලකුණු 75 ක ජයක් වාර්තා කළ දඹුල්ල ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ජය මල්ලකටද හිමිකම් කීහ.

ලකුනු 258 ක ජයග්‍රාහී ඉලක්කක් හඹා යෑමේදී ගෝල් කණ්ඩායම ලකුණු 182 කදී සීමා කිරීමට වනිදු හසරංග ප්‍රමුඛ දඹුලු පන්දු යවන්නෝ සමත්වූහ. මෙම ශූරතා කුසලාන දිනා ගැනීමට පෙර දඹුලු කණ්ඩායම මීට පෙර පැවැති කුමන හෝ ආකාරයේ නැෂනල් සුපර් ලීග් තරගාවලිවලදී අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය. ඒ අනුව මෙය ඔවුන්ගේ තරග ඉතිහාසයේ ශූරතා කුසලානක් දිනා ගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද ඉතිහාස ගත විය.

මේ වෙනුවෙන් ක්‍රීඩකයින් කීප දෙනෙකු වැඩි දායකත්වයක් දැක්වූ අතර ඒ අතරින් වනිදු හසරංගගේ දක්ෂතාව කැපී පෙනිණ. පළමු ඉනිමේදී ලකුණු @ කට කඩුලු 4 ක් බිඳ හෙළූ වනිඳු දෙවැනි ඉනිමේදී ලකුණු 44 කට කඩුලු 5 ක් බිද දැමුවේ ගෝල් පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි.

ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී සිව්වැනි දිනය ආරම්භ කළ ගෝල් කන්ඩායමේ අද දිනයේ දැවී ගිය කඩුලු 5 න් 4 කටම හිමිකම් කීවේ වනිඳුය. පන්දුවාර 15.3 ක් ක්‍රියාත්මක කළ දකුණත් පා දඟ පන්දු යවන්නා සමස්ථ තරගයේදීම ලකුණු 108 කට කඩුලු 9 ක් බිඳ හෙළීය.

ගෝල් මැද පෙළ ශක්තීමත් කළ පිතිකරුවකු වන පැතුම් කුමාර සහ දුනිත් වෙල්ලාලගේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක් රැස් කරමින් ඉලක්කය කරා සෙමෙන් සෙමෙන් ළංවන අතරතුර දී පන්දුව ගත් වනිඳු පළමුව අතශ්‍යාවශ්‍යම පිතිකරුවා වූ පැතුම් කුමාරව දවා ගත්තේ අභිෂේක් ලියනාරච්චිගේ සහයෝගයද ඇතිවය. තණතීරුවේ මැද කෙටී කඩුල්ලෙන් පිටට ඉහළ නැගී ආ පන්දුවට පැතුම් එල්ල කරන ලද කට් පහර පොයින්ට් කළාපයේ පන්දු රැකි අභිෂේක් සුරැකිව රැක ගන්නා විට ඔහු ලකුණු 36 ක් ලබා සිටියේය. හතරේ පහර 6 ක් ද ඇතුළත් පැතුම්ගේ ඉනිම ලකුණු 64 කින් සමන්විත විය.

අනතුරුව පැමිනි සුමින්ද ලක්ෂාන්ව දවා ගත් ළහිරු සමරකෝන් තමා ද වේග පන්දු යවන්නකු වෙනුවෙන් වැඩි ඉමක් කළ හැකි ක්‍රීඩකයකු බව පෙන්නුම් කළේය. පන්දුවාර 12 ක් යැවූ ළහිරු සිය පන්දු යැවීම ලකුණු 60 කට කඩුලු 4 ක් ලෙසින් සනිටුහන් කරගත්තේය. හේ පළමු ඉනිමේදීද ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳ හෙළුවේය.

ලකුණු 02 ක් ඇතුළත කඩුලු 2 ක් බිද වැටී තිබියදී දුනිත් වෙල්ලාලගේට එක් වුණු කවිශ්ක අංජුල 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් එක් කිරීමට දායකත්වයක් දැක්වීමත් සමග පරාජයේ පරතරය මෙන්ම දඹුල්ලේ ජයග්‍රහණයද ප්‍රමාද කළේය.

වෙල්ලාලගේ ඉතා හොදින් පන්දුවට පහර දෙමින් සිටි බැවින් අනෙක් අන්තය දවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ වනිඳු යළිත් වරක් කවිශ්ක අංජුලව ලකුණු 27 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේය. කෙසේ වෙත්ත එතැනින් පසු අනෙක් අන්තය ද ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දුන් දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතකය වාර්තා කර ගැනීමට සමත් වුවත්, සෙසු පිතිකරුවන් වනිඳුගේ දැලේ පැටලිණ. තරග අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත් දුනිත් පන්දු 79 කදී ලකුණු 52 ක් ලබා සිටියේය.

අනුශූරතාව දිනූ ගෝල් කණ්ඩායමට මුදලින් රුපීයල් ලක්ෂ 25 ක් හිමි වද්දී දක්ෂතම පිතිකරු ලෙස ඉනිම 7 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 448 ක් ලබා ගත් කැන්ඩි කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද දක්ෂතම පන්දු යවන්නා ලෙස ඉනිම 6 කදී කඩුලු 22 ක් දවා ගත් ජැෆ්නා කණ්ඩායමේ ශෂික දුල්ෂාන්ද සම්මාන දිනාගත්හ. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න සහ තරගාවලි සංවිධායක කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ගෝල් කණ්ඩායමේ නිත්‍ය නායක රමේෂ් මෙන්ඩිස් පිදුම් ලැබූ නමුත් එය සම්මානය ලබා ගනු ලැබුවේ ගෝල් කණ්ඩායමේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන සංගීත් කුරේ විසිනි. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා‌ ටෙස්ට් පිලට රමේෂ් ඇතුළත්ව සිටින බැවින් ඔහුට සිව්දින තරගාවලියේ අවසන් මහ තරගයක පමණක් නොව අවසන් පූර්ව වටයේ තරගයද මඟ හැරිණි.

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 72.1 කදී ලකුණු 248 යි.

ගෝල් පළමු ඉනිම පන්දුවාර 53.2 කදී ලකුනු 187 යි.

දඹුල්ල දෙවැනි ඉනිම පන්දුවාර 71.2 කදී ලකුණු 196 යි.

අනුශූරතාවට පත් ගෝල් කණ්ඩායම

 

දක්ෂතම පිතිකරුවා වූ අහන් වික්‍රමසිංහ (කැන්ඩි)

දක්ෂතම පන්දු යවන්නා – ශෂික දුල්ශාන් (ජැෆ්නා)

තරකාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රමේෂ් මෙන්ඩිස්ට හිමි වුවත් ඔහු නවසීලන්ත තරග සංචාරයට පිටත්ව ගොස් සිටින බැවින් එය ගෝල් පිලේ තාවකාලික නායකයා ලෙසින් කටයුතු කරන ලද සංගීත් කුරේ විසින් ලබා ගන්නා ලදී.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar